පුද්ගලික සමාගමක සේවය කළ ලිපිකාරිනියක් සිපවැළඳ ගැනීමේ චෝදනාවෙන් ත්‍රිකුණාමලය මහාධිකරණය විසින් නිදහස් කරනු ලැබූ එම සමාගමේ මානව සම්පත් කළමනාකාරවරයාට අභියාචනාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 07ක සිරදඬුවම් නියම කර තිබේ.

ඊට අමතරව විත්තිකරු විසින් අගතියට පත් තැනැත්තියට රුපියල් 750,000ක වන්දියක් ගෙවිය යුතු බවත් සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් ය.

එම වන්දි මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවහොත් අමතරව වසරක සිරදඬුවම් නියම කරන බවත් තීන්දුවේ දැක්වෙන බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

මෙම නඩුවේ විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව අගතියට පත් තැනැත්තිය විසින් ඉදිරිපත් කළ අභියාචනයක් විභාග කිරීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදි.

මෙම චෝදනාව සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ත්‍රිකුණාමලය මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2015 වසරේ සැප්තැම්බර් මස 16 වනදා විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබුණි.

විත්තිකරුට එරෙහිව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොතිබීම හේතුවෙන් මෙම නියෝගය නිකුත් කරන බවත් මහාධිකරණ තීන්දුවේ සඳහන් විය.

Similar Posts