සියඹලාණ්ඩුව, මුතුකණ්ඩිය පස්වන ගම්මානයේ පදිංචි අවුරුදු 15යි, මාස 02ක් වයසැති දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගුරුවරයාට එරෙහිව විරෝධයපාමින් ඉකුත් 23 වැනිදා ප්‍රදේශවාසීහු සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී නිහඬ විරෝධතාවක නිරත වූහ.

පනස්පස් හැවිරිදි මෙම ගුරුවරයා පාසලේ ඔහුගේ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට ඔහු විසින් සියඹලාණ්ඩුව නගරයේ පවත්වාගෙන යන උපකාරක පන්තියක දී දැරිය කාර්යාලයට ගෙන්වාගෙන ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

රක්ෂිත බන්ධනාගාරයේ සිටි ඔහු ඉකුත් 23 වැනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රදේශවාසීහු එකසිය විසිදෙනෙක් පමණ මෙම නිහඬ විරෝධතාවට එක්ව සිටියහ.

ඔවුන් ඉල්ලා සිටියේ සැකකාර ගුරුවරයාට එරෙහිව උපරිම නීතිමය පියවරගන්නා ලෙසයි.

සැකකරු ජනවාරි 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් ධනුෂ්ක රොෂාන් අනුරුද්ධ මහතා විසින් නියෝග කරන ලදි. ඉන් අනතුරුව උද්ඝෝෂණයේ නිරතවූ පිරිස සාමකාමීව විසිර ගියහ. සැකකරු වෙනුවෙන් නීතීඥ උදාර සොයිසා, රොෂාන් ඒකනායක, ගංගා අබේසිරිවර්ධන යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

More Stories