gov

ලබන වසර සඳහා වන අය-වැය මඟින් රාජ්‍ය සේවයේ අවම ආරම්භක මාසික වැටුප සියයට 24ත් – 35ත් අතර ප්‍රතිශතයකින් ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

අවම මූලික වැටුප ඉහළ නැංවීමෙන් පසු රාජ්‍ය අංශයේ පහළම ශ්‍රේණියේ සේවකයන්ටත් සේවා නියුක්ත කම්කරුවන්ටත් මසකට අවම වශයෙන් රුපියල් 55,000ක වැටුපක් හිමි වෙයි. එසේම රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි සේවකයන්ට ලබන අය-වැයේ සිට රුපියල් 25,000ක ජීවන වියදම් දීමනාවක් ගෙවීමටත් තීරණය වී ඇති අතර එම දීමනාව සෑම වසර තුනකට වරක් සංශෝධනය කිරීමටත් යටත්ව ගෙවනු ලැබේ. අනෙකුත් සියලු තනතුරු සඳහා මූලික වැටුප ඒ අනුව ගැළපීමට ද කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

මෙම ගෙවීම් සියල්ල 2025 අය-වැය ලේඛනයට ඇතුළත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (13) ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වැටුප්, වේතන හා අනෙකුත් පාරිශ්‍රමිකයන් සමාලෝචනය කර, රාජ්‍ය සේවයේ සියලු අංශයන්හි වැටුප් සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා, 2025 අය-වැය මඟින් ක්‍රියාත්මක කිරීම සඳහා වන නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා 2024.05.27 දින පැවති ඇමැති මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බව ද හෙතෙම කීවේය.

Similar Posts