bandana

මැතිවරණ කොමිසම, අධිකරණ අමාත්‍යවරයා, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසකට අගෝස්තු 09 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කළා.

ඒ, රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සිරකරුවන්ට ජනාධිපතිවරණය අතුළු මැතිවරණවල දී ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් විභාගය සම්බන්ධයෙන්.

අදාළ පෙත්සම ගොනුකර තිබුණේ, සිරකරු අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින සුදේශ නන්දිමාල් ද සිල්වා මහතායි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින්, අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

එහි දී පෙත්සම්කරු පෙන්වා දී තිබුණේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පුද්ගලයෙකු අධිකරණයක් මඟින් වරදකරු කරන තුරු ඔහුට නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය හිමිවන බවයි.

ඒ හේතුවෙන් අදාළ අයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් සියල්ල භුක්ති විඳීමට අවස්ථාව සැලසෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රඥප්තියට අනුව සෑම සිරකරුවෙකුම මනුෂ්‍යයකු වශයෙන් සැලකිය යුතු බව ද එහි සඳහන්.

සාමාන්‍ය පුද්ගලයකු භුක්ති විදින සියලු වරප්‍රසාද ඔහුට සලසා දීමට පියවර ගත යුතු බවයි, පෙත්සමින් අවධාරණය කර ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වන ව්‍යවස්ථාවට අනුව ඡන්ද විමසීම්වල දී ඡන්දය ප්‍රකාශ කිරීමට නුසුදුසු පුද්ගලයින් කවුරුන්දැයි පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

රිමාන්ඩ් කළ සැකකරුවන් ඊට අයත් නොවන බව ද පෙත්සම්කරු ප්‍රකාශ කළා.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව ඡන්දය දීමට සුදුසුකම් ලැබූ ඡන්දදායකයින් 20,000කට අධික පිරිසක් සිටින බව ද සුදේශ නන්දිමාල් මහතා අවධාරණය කළා.

ඒ හේතුවෙන් ඉදිරියේ දී පැවැත්වෙන ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලදී රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සිරකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ඔහු ඉල්ලීමක් කළේ.

ඊට අවශ්‍ය මාර්ගෝපදේශ මාලාවක් අදාළ ආයතන වෙත නිකුත් කරන ලෙස මැතිවරණ කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

Similar Posts