නිරෝධානය ඇදිරිනීති සමයේ නීති විරෝධී අයුරින් පවත්වාගෙන යන මහා පාරිමාණ සීනි ගබඩාවක් පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් වටලනු ලැබීය.
මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක පවත්වාගෙන යන තොග ගබඩාවක තිබී මෙට්‍රික් ටොන් තුන්සියයකට අධික මෙම සීනි තොගය පාරිභෝගික සේවා අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ඒකකය මගින් වටලා මුද්‍රා තබන ලදි.
මෙම තොග ගබඩාවේ සීනි කිලෝ තුන්ලක්ෂ දහතුන්දහස් දෙසීයක් තිබුණු අතර එම තොගය අධික මිලට අලෙවි කිරිම සඳහා සඟවා ඇති බවට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුවිය.
මහනුවර නගරයේ ව්‍යාපාරික ස්ථානයක තොග ගබඩාවක් වශයෙන් මෙය පවත්වාගෙන ගොස් තිබේ.
මෙම තොග ගබඩාව පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමක් ද සිදුවී නොමැති අතර අදාල සීනි තොගය අතර භාවිතයට නුසුදුසු සීනි තොගයක් ද මෙම වැටලීමේදී හමුවිය.
මෙම තොග ගබඩාවේ සහල් කිලෝ විසිඅටදහස් හයසියයක ප්‍රමාණයක් රැස් කොට තිබුණු අතර එම තොගය ද මුද්‍රා තැබීම සිදුවිය.
අධික මිලට සීනි අලෙවි වන අවස්ථාවක මෙලෙස සීනි තොග රැස් කර ගැනීමක් සිදුවී ඇති අතර අදාල ව්‍යාපාරිකයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත යැයි පාරිභෝගික අධිකාරියේ මහනුවර දිස්ත්‍රික් ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී ඒ.එම්.ජේ.සමන්ත මහතා පැවසීය.
නිරෝධායන ඇදිරි නීති සමයේ පාරිභෝගික පනත උල්ලංඝනය කරන ව්‍යාපාරික ස්ථාන වැටලීමේ මෙහෙයුම් මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි අඛණ්ඩව සිදුකරන බව ද ඒ මහතා වැඩිදුරටත් සදහන් කළහ.
නදීක දයා බණ්ඩාර – මහනුවර