gossip lanka news

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කරමින් සුපිරි වෙළෙඳසැල් හා දේශපාලන හිතවතුන්ට මත්පැන් බලපත්‍ර අලුතින් නිකුත් කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු හතර දෙනෙකු අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි ගිහාන් ශවින්ද ප්‍රනාන්දු මහතා විසිනුයි.

එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස සුරා බදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ. එම්. පී අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වූ‍ කේ. ධර්ම සීලන් සහ සී.ජේ.ඒ විරක්කොඩි යන අය නම් කර තිබේ.

අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ පසුගිය අප්‍රේල් මස 02 වනදා අවිධිමත් ලෙස මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලිය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් තුනක් සලකා බැලූ අවස්ථාවේදී පවතින සුරා බදු නීති රෙගුලාසිවලට පරිබාහිරව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා වෙත නියම කළ බවයි.

එහෙත් එම නියෝගය උල්ලංඝනය කරමින් වග උත්තරකරුවන් විසින් දේශපාලකයින්ගේ හිතවතුන්, ඔවුන්ගේ ඥාතීන් හා සුපිරි වෙළෙඳසැල් ජාල සඳහා නව මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බවත් අදාළ පෙත්සම මගින් පෙන්වා දී ඇති බව සඳහන්.

ඒ තුළින් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් හතර දෙනාට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

Similar Posts