අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මන්නාරම සහ පුනරීන් සුළං බලශක්ති ව්‍යාපෘති දෙකෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව සමාගම නිල වශයෙන් ප්‍රකාශ කර සිටී. කෙසේ වෙතත්, සමාගම පවසන්නේ ශ්‍රී ලංකාව සමඟ අනාගත සහයෝගීතාවයට තවදුරටත් විවෘතව සිටින බවයි.
ශ්‍රී ලංකාවේ සුළං බලය ශ්‍රී ලංකාවටම වැඩි මිලට විකුණාගෙන ඉන්දියාවටද විකිණීමට අදානිගේ සැලසුමක් පැවති අතර අසාධාරණ මිල ගණන් ඉදිරිපත් කරමින් ඔහු සූරාකන්ට සූදානම් වූයේ යයි ජනපති අපේක්ෂක අනුරකුමාර මැතිවරණ සමයේ ප්‍රකාශ කර තිබුණි. පසුව ජාජබ රජය පැමිණි පසු අදානිට මේ සඳහා අවසරය දීම නැවත සලකා බලන බවට කැබිනට් නිවේදනයක්ද නිකුත් විය.
මේ අතර පසුගිය සතියේ වාර්තා වූයේ මන්නාරම සුළං බලාගාර ව්‍යාපෘතිය දේශීය සමාගමක් වන හේලීස් වෙත ලබාදී ඇති බවත් අවම ලංසුව ඉදිරිපත් කළ එම සමාගමට සාධාරණ පටිපාටියක් ඔස්සේ එය ලබාදී තිබූ බවත්ය.
මෙම තීරණයට පෙර, මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර ඉදිකිරීමේ ව්‍යාපෘතිය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට ලබාදීම අත්හිටුවීමටද තීරණය කර තිබුනේ යම් යම් දේශපාලන කාරනා මත එම සමාගම විශාල ව්‍යාපෘතියකට සම්බන්ධවීමට උත්සාහ දරන අතරේය.
කොමිෂන් සභාව පෙන්වා දී තිබුනේ ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ තොරතුරු එහි අවම පිරිවැය සහ තාක්ෂණික අනුකූලතාව තක්සේරු කිරීමට ප්‍රමාණවත් නොවූ බවයි. අදානි හා විදුලි බල මන්ඩලය අතර එකඟතාව සැකසහිත බවට කරුණු හෙළි විය.
විශේෂයෙන්ම පහත තොරතුරු ලබා දීමට විදුලිබල මණ්ඩලය අපොහොසත් වී තිබුණි:
අදානි සමාගම සමඟ ඇති කර ගත් බලශක්ති මිලදී ගැනීමේ ගිවිසුමේ සම්පූර්ණ කෙටුම්පත ඉන්දියානු රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එවැනි අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ලැබුණු අවසරය
මීට අමතරව, කිලිනොච්චියේ සිට හබරණ දක්වා කිලෝවෝල්ට් 400 ධාරිතාවෙන් යුත් සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමේ ප්‍රසම්පාදන විස්තර සහ වියදම් ආපසු අය කර ගැනීමේ ක්‍රමවේදය පිළිබඳ තොරතුරු ද ලබා දී නොමැත. එමෙන්ම, මන්නාරමේ අදානි ව්‍යාපෘතිය ආසන්නයේ පිහිටි මෙගාවොට් 50ක සුළං බලාගාරයට කැඳවූ ටෙන්ඩර් සඳහා ලැබී ඇති ලංසු වටිනාකම් පිළිබඳ විස්තර ද ඉදිරිපත් කර තිබුනේ නොමැත.
ව්‍යාපෘතියේ පාරිසරික බලපෑම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් නිකුත් කරන ලද පාරිසරික බලපෑම් ඇගයීම් වාර්තාව සහ පාරිසරික බලපත්‍රයේ විස්තර ද විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර නොමැති බව කොමිෂන් සභාව පෙන්වා දී තිබුණි.
මේ අතර, එක්සත් ජනපද යුක්ති දෙපාර්තමේන්තුව විසින් අදානි සමූහයේ නිර්මාතෘ ගෞතම් අදානි ඇතුළු පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව අල්ලස් චෝදනා ගොනු කර ඇත. මෙම චෝදනා හේතුවෙන්, කොළඹ වරාය පර්යන්ත ව්‍යාපෘතිය සඳහා එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) විසින් ලබාදීමට එකඟ වූ ඇමරිකානු ඩොලර් මිලියන 553ක ණය මුදල සමාලෝචනය කරමින් සිටී.
අදානි සමූහය මෙම චෝදනා “පදනම් විරහිත” බව පවසමින් ප්‍රතික්ෂේප කර ඇති අතර, “සියලු හැකි නීතිමය පිළියම්” සොයන බව ප්‍රකාශ කර තිබුණි.