සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ගේ ආදායම් ඉහළ නැංවීමේ නව වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කොට දියත් කරන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි.

කර්මාන්ත අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට කුඩා ප්‍රමාණයේ නිපැයුම් අලෙවි කිරීමේ වැඩසටහනක් මහනුවර නගරය තුළ ඒ යටතේ ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා තවදුරටත් සඳහන් කර සිටියි.

ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කරන ලද්දේ ඇසළ පෙරහැර මංගල්‍යයට සමගාමීව මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව සංවිධානය කළ Visit Kandy වෙළඳ ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට අද (18) ප්‍රධාන ආරාධිතයක් වශයෙන් සහභාගි වෙමින් .

ඇසළ පෙරහැර මංගල්‍යය නැරඹීම සඳහා මහනුවරට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා දේශීය නිපැයුම්කරුවන්ගේ භාණ්ඩ අලෙවි කිරීමේ අරමුණින් මෙම වෙළඳ ප්‍රදර්ශනය සංවිධාන කොට තිබේ .

කර්මාන්ත ගම්මානවල නිෂ්පාදකයන් මේ සම්බන්ධයෙන් දිරි ගන්වන බවත් ඔවුන් එකම ප්‍රමාණයකින් යුක්තව සකස් කරන ලද අනුරූ අලෙවි කිරිම මෙහි පළමු අදියර යටතේ සිදුවන බව ද ගමගේ මහතා ප්‍රකාශ කර සිටියා .

විශාල ප්‍රමාණයේ නිපැයුම් අලෙවි කිරීම සඳහා වැඩි කාලයක් ගත වන බැවින් අඩු මුදලකට මිලදී ගත හැකි නිෂ්පාදන වැඩි ප්‍රමාණයක් අලෙවි කිරිමේ හැකියාවක් ඔවුන්ට හිමිවන බවයි ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේ .

ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මහනුවර නගරයට පැමිණෙන විදේශීය සංචාරකයන් සඳහා මෙම ප්‍රදර්ශනය විවෘත බව කී ඒ මහතා ඔවුන්ට භාණ්ඩ වැඩි ප්‍රමාණයක් අලෙවි කිරීම හා විදේශීය භාණ්ඩ ඇණවුම් ලබා ගැනීම මේ යටතේ අපේක්ෂා කරන බව ද තව දුරටත් සඳහන් කළා .

18 සහ 19 යන දින වලදී මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හී මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන අතර එහි සමාරම්භක අවස්ථාව සඳහා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් චරිතා ඉලංගකෝන් මහත්මිය ඇතුලු අමාත්‍යංශ ලේකම්වරු, අධ්‍යක්ෂවරු ඇතුලු නිලධාරීන් ද මහනුවර දිස්ත්‍රික්කයේ කර්මාන්තකරුවන් රැසක් ද එක්වී සිටියා .

Similar Posts