police

අනුරාධපුර පොලිස් කොට්ඨාශයේ උසස් පොලිස් නිලධාරියෙකු පටු අරගලයක නිරතවීම නිසා සේවාව අකුරට ඉෂ්ඨ කල පොලිස් නිලධාරින් දාහතර දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඩුවම් ක්‍රියාත්මක කිරීමට නියෝග නිකුත් කිරීම නිසා සිය රාජකාරි ඇග බේරාගෙන සිදුකිරීමට සිදුව ඇති බව අනුරාධපුර පොලිස් වසමේ පොලිස් නිලධාරින් පිරිසක් අනාවරණය කළහ.

කොට්ඨාශයේ උසස් පුටුවක් බලාපොරොත්තුවෙන් වසර ගණනාවක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේවයේ නියුතු නිලධාරියා සමාජ විරෝධි ක්‍රියාවල නිරතවීම නිසා පොලිස් අත්අඩංගුවට පත්වුවන්ගේ පෙත්සම් සැලකිල්ලට ගෙන රාජකාරි ඉටුකල සෙසු නිලධාරින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර උසස් පුටුව අත්පත්කර ගැනීමේ පහත් ක්‍රියාවක නිරතවන බව පොලිස් නිලධාරින් අනාවරණය කළහ.

මෙම ක්‍රියාකළාපය නිසා අනුරාධපුර පොලිස්වසමේ අපරාධ ක්‍රමක්ක්‍රමයෙන් ඉහල යන අතර අපරාධ සදහා අත්අඩංගුවට ගන්නා බොහෝ දෙනෙකු ගෙන් කිසිදු අපරාධයක සුළමුල සොරකම් කල භාණ්ඩ අත්පත් කර නොගනිමින්ම අධිකරණයට ඉදිරිපත් කිරිමේ තත්වයක් උදාවි තිබේ.

නිලධාරින්ට සේවය කිරිමට නොහැකිවී ඇති තත්වය පිළිබදව ඔවුන් මෙසේ අනාවරණය කළහ.හරියට රාජකාරි සිදුකරපු පොලිස් නිලධාරින් 14ක් අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා උසස් නිලධාරියා අනුරාධපුර මූලස්ථාන පොලිසියට උපදෙස් දීලා තියනවා.හෙරොයින් ජාවාරමුන් හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දූෂකයන් අපරාධකරුවන් කියන දේවල් තමයි මේ නිලධාරියා තරයේම විශ්වාස කරන්නේ.

මේ තත්වය නිසා අපි වැටලීමකට ගියාම අපිට අපරාධකාරයෝ එලවා එලවා ගහන තත්වයක් උදාවෙලා.අපි ගුටිකාලා අත්දෙක බැදගෙන ඉදලා එන්න ඕන.මේ නිලධාරියා නිසා බොහොම පරිස්සමින් රාජකාරි සිදුකරන්නේ.අපරාධකාරයෙක් දැන් ඇගේ හැප්පිලා ගියත් අපි අත්දෙක බැදගෙන ඉන්න වෙලා තියෙන්නේ.

කොට්ඨාශබාර ජේෂ්ඨ පොලිස් අධිකාරිතුමාට මේ පිළිබදව දන්වලා තියෙන්නේ. මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකතුමා නැත්නම් අපි මේවෙනකොට හිර ගෙදර.එතුමාව පුටුවෙන් අයින් කරන්නත් මේ නිලධාරියා පුදුම උත්සාහයක නිරතවෙනවා.

බුද්ධි අංශ පවා මේ නිලධාරියාගේ ක්‍රියා කලාපය පිළිබදව පොලිස්පතිවරයාට දන්වලා තියෙන්නේ.නමුත් ඔවුන් ඉතා නිහඩව ඉන්නවා.සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඉන්න ඕන තැනට ඊට වඩා උසස් නිලධාරියෙකු යොමු කරාම මේ ප්‍රශ්න ඇති වෙනවා.උසස් නිලධාරින්ටත් ඔහු බලපෑම් තර්ජනය කිරීම් සිදුකරනවා.

පොලිස් නිලධාරින්ට එරෙහිව සැකකරුවෙකු පැමිණිලි ඉදිරිපත් කරනවා නම් පොලිස් කොමිෂමට හරි මානව හිමිකම් කොමිෂමට හරි වෙනත් ඉහල අධිකරණයකට පෞද්ගලිකව පැමිණිලි කරන්න අවස්ථාව තියෙද්දි මේ නිලධාරියා ඒවා අතට අරගෙන 365 දවස පුරා පොලිස් නිලධාරින් බන්ධනාගාර ගතකරන ආකාරය පිළිබදව පිඹුරුපත් සකසනවා.

පොලිස් නිලධාරින් 14 දෙනෙකු බන්ධනාගාර ගතවු පසුව කොට්ඨාශයේ ඉන්න උසස් නිලධාරියාට ස්ථානමාරු ලැබෙනවා.ඊට පස්සේ මම සුදුස්සා ඒ පුටුවට කියලා එතන වාඩිවෙන්න තමයි මේ උත්සාහය.ඔහු පුටුවට ආවට පස්සේ මේ අනුරාධපුර පූණ්‍ය භූමිය ඉවරටම ඉවරයි.

මේ නිලධාරියා පොලිසියේ හිටියට හොරු මංකොල්ලකාරයෝ ස්ත්‍රී දූෂකයන් හෙරොයින් ජාවාරම්කරුවන් වෙනත් අපරාධකරුවන් සුරකින අපරාධ බෝකරන නිලධාරියෙකු යනුවෙන් ඔවුන් පැවසුහ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කීර්ති ලංකා ගීගනගේ මහතාගෙන් දුරකථනයෙන් කල විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.නෑ කිසිම නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමේ සැලසුමක් නෑ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පලායෑමේදි සිදුවු අනතුරක් නිලධාරින් පිටින් දාන්න උත්සහ කරා.නමුත් ඒකට කිසිම නිලධාරියෙකු සම්බන්ධ නෑ කියලා අපි නිගමනය කර ගත්තා.කොට්ඨාශයේ කිසිම ප්‍රශ්නයක් නෑ.එන ප්‍රශ්න මම උසස් නිලධාරින් සමග සාකච්චා කරලා විසදා ගන්නවා යනුවෙන් ඒ මහතා පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories