maranthika-virus

අනුරාධපුර මධ්‍යම නූවරගම් පළාත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උලුක්කුලම ප්‍රදේශයේ  ගොවිපලවල් තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන වෛරස් රෝගයක් හේතුවෙන්, සතුන් විශාල වශයෙන් මිය යමින් සිටින බව එම සත්ත්ව ගොවීන් පවසයි.

මේ වන විට පැටවුන්ද සමග ඌරන් දහසකට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට ඇති බවටයි ගොවීන් මැසිවිලි නඟන්නේ.

හඳුනානොගත් මෙම වෛරසය, ඌරන්ට වැළඳීමෙන් පසුව දින දෙකකින් පමණ මරණයට පත්වන බව ද සඳහන්.

මේ වන විට ඌරන් අටසීයක් සිටින ගොවිපළවල්වල ඌරන් දෙසීයක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඌරන් තුන්සියයක් පමණ සිටින ගොවිපළවල්වල ඌරන් පනහත් හැටත් අතර ප්‍රමාණයක් මරණයට පත්ව තිබෙනවා.

මියගිය පැටවුන් සංඛ්‍යාව පිළිබඳව මෙතෙක් ගණනය කර නොමැති බවයි එම ගොවීන් සඳහන් කළේ.

මෙම ප්‍රදේශයේ ආශ්‍රිතව ඌරු ගොවිපළවල් විස්සක් පමණ ප්‍රමාණයක් පවතින අතර එම සියලුම ගොවිපළවල්වල ඌරන් මේ ආකාරයෙන් මිය යමින් සිටින බවද වාර්තා වනවා.

ප්‍රදේශවාසීන් විසින් මේ සම්බන්ධයෙන් ප්‍රදේශයේ පශුවෛද්‍යවරයාව හා එම නිලධාරීන්ව දැනුවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් පශු වෛද්‍යවරුන් මෙතෙක් ඊට විසදුම් ලබාදීමට පියවර ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

විශාල වශයෙන් ඌරන් ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඇතැම් ගොවිපළවල්වල හානිය රුපියල් කෝටිය ඉක්මවන බව ගොවීන් පවසනවා.

අනුරාධපුර – ඉන්දික රංගජිව

Similar Posts