ජනතා විමුක්ති පෙරමුණ හෙවත් ජාතික ජන බලවේගයේ නැග්ම පසුපස ඇති ප්‍රධාන ප්‍රවාදය හොරු ඇල්ලීමයි. ආර්ථිකය සම්බන්ධයෙන් පැහැදිලි විකල්ප අදහසක් ඇති බවක් නොපෙනේ. ජවිපෙ හා ජාතික ජන බලවේගය අතර යෝජිත විවාද නොකෙරෙන වෙදකමක් වන්නට හේතු වන කෝඳුරු තෙල් හත් පට්ටයට අතිරේක ‘තවත් ටික’ වන්නේ මේ විකල්ප අදහස් නැතිකමයි. මේ විවාද නොපවත්වන තරමට හොඳය. මේවා පැවැත්වූවොත් මේ අනාගත නායකයන් වීමට සිටින අයගේ කටවලින් ජාත්‍යන්තර සහයෝගය අහිමි කරගන්නා කතා ටිකක් පනිනවා නියතය. එසේ නොකළහොත් දේශීය ජනතාව අතරේ ඔවුන් රනිල්ගේ වැඩසටහනම ක්‍රියාත්මක කරන හෝ වෙනත් විකල්පයක් නැති අය ලෙස නිරුවත් වනු ඇත.
හොරු ඇල්ලීම ප්‍රවාදයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ මෙතෙක් රට පාලනය කළ ප්‍රභූ තන්ත්‍රය හොරුන් ලෙස සන්නාමගත කිරීමයි. මෙය උච්චතම තැනට ගියේ අරගලය තුළිනි. එහිදී 225ම හොරුන් ලෙස නම් කරද්දී ජවිපෙ ද එයට අයත් වූ අතර සියලු දේශපාලන පක්ෂ බැහැර කරමින් රැට්ටලා, දමිතලා, ජීවන්තලා, ජීන් ආන්ටිලා, දානිෂ් අලිලා, නූර්ලා අරගලයේ ඊනියා නිර්පාක්ෂික නායකයන් ලෙස ස්ථාපිත වූහ. එහෙත්, අදේශපාලනිකත්වය නිසාම මේ ඊනියා අරගල නායකයන් දියවී ගිය අතර දැන් ඔවුන් එක්කෝ වෙනත් පක්ෂවලට සහාය දෙති. නැතිනම්, එකට එකතු වී දහ පහළොස් දෙනෙකුගේ රැස්වීමක්වත් පවත්වන්නට යද්දී පවා ගුටි ඇනගන්නා තරමට පිරිහී සිටිති.
රනිල්-රාජපක්ෂ ප්‍රභූ බලවේගය විසින් අරගලය පරාජය කරදැමීමේ අපේක්ෂා භංගත්වයේ වාසිය දිනාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. ඔවුන් අරගලයේ ඊනියා අදේශපාලනික දේශපාලන පක්ෂ විරෝධය ද පරාජය කළහ. අරගලයේ කිසිදු නායකයකුට අලුත් දේශපාලන බලවේගයක් නිර්මාණය කරගෙන ඉදිරියට ඒමට බැරි විය. අරගල නායකයන් කිසිවකු ඉදිරි පාර්ලිමේන්තුවට තේරී පත්වන්නට තියෙන ඉඩ ද අවමය. එසේ වෙනවා නම් වෙන්නේ ජවිපෙ හෝ සජබ නියෝජිතයන් ලෙස පමණි.
අරගලයේ තිබූ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-ප්‍රභූ විරෝධී නායකත්ව පෙළගැස්ම මේ වන විට අහෝසි වී ගොස් ජවිපෙ එතැන අත්පත් කරගෙන ඇත. කෙසේ වෙතත්, ජවිපෙට නිර්මාණය වූ රැල්ල තුළ ඉහත සඳහන් අනන්‍යතා දේශපාලනය ද දක්නට ලැබේ. (මෙය ඊටත් වඩා දක්නට ලැබෙන්නේ සමගි ජන බලවේගය තුළයි). ජවිපෙ දේශපාලනය තුළ සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි විරෝධයක් නැත. එහෙත් පැරණි ප්‍රභූ නායකත්වය වෙනුවට අලුත් නායකත්වයක් ඉදිරියට ගෙන ඒමේ හැකියාවක් හා උවමනාවක් ඔවුන්ට ඇත. පැරණි ප්‍රභූන් හොරුන් ලෙස සන්නාම කිරීමෙහි අරමුණ එයයි. හැත්තෑ පස් වසරක් රට කෑවා, ජාතික ධනය හොරකම් කළා, රට බංකොළොත් කළා, තරුණයන්ගේ අනාගතය අඳුරු කළා වැනි ගජබින්න හෝ කාලක් හෝ ඊටත් අඩුවෙන් සත්‍ය විය හැකි මතවාදයක් ප්‍රවර්ධනය කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රධාන උපායමාර්ගයකි.
පසුගිය හැත්තෑපස් වසර තුළ රට ලබාගත් සංවර්ධනය සම්බන්ධයෙන් දර්ශක ඕනෑතරම් තිබුණත්, ජවිපෙ ප්‍රභූ විරෝධී මතවාදය ඒවා ගණන් ගන්නේ නැත. කොටින්ම එය සංවාදයට ගැනීමක්වත් නැත. අනෙක් පැත්තෙන්, රාජපක්ෂලා, රනිල්ලා, සජිත්ලා හෝ බණ්ඩාරනායකලා වැනි රාජ්‍ය පාලනය කළ ප්‍රභූන් හොරුන් ලෙස සන්නාමකරනය ගැන පවා සංවාදයක් නැත.
දේශපාලනය තුළ ප්‍රභූවාදය තහවුරු වීමට හේතු වූ ප්‍රධාන සාධක මොනවාද? එක පැත්තකින්, 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු හඳුන්වා දුන් සමානුපාතික නියෝජනය හා මනාප ක්‍රමය තුළ පසුගිය අවුරුදු පනහක පමණ කාල පරිච්ඡේදය තුළ සිදු වූ විපර්යාසය මෙහිදී අවබෝධ කරගත යුතුය. ඡන්ද කොට්ඨාසය දිස්ත්‍රික්කය දක්වා පුළුල් වී අති විශාල එකක් බවට පත් විය. එහි දිග පළල තුළ සංවිධාන කටයුතු කිරීම ඉතා දුෂ්කරය. සම්ප්‍රදායික ධනේශ්වර දේශපාලන පක්ෂ අතීතයේ සිටම පුද්ගලවාදී ප්‍රවණතාවකින් යුක්ත වූ අතර 1978න් පසු කාල පරිච්ඡේදය තුළ මෙම පුද්ගලවාදය තීව්‍ර වෙමින් පක්ෂ සංවිධාන පිරිහී ගියේය. එම පක්ෂවල මුල පටන්ම තිබූ සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ද අහෝසි වී ගියේය. වර්තමානයේදී ප්‍රධාන ධනේශ්වර දේශපාලන පක්ෂ හරහා දේශපාලනයට පිවිසීමට හා ඉදිරියට යාමට අවශ්‍ය ප්‍රධාන සාධකය වන්නේ මුදල්ය. ඒ සඳහා වියදම් කිරීම සඳහා මුදල් සෙවීම සඳහා අනුගමනය කරනු ලබන උපායමාර්ග හේතුවෙන් දේශපාලන නායකත්වය දූෂණ, අක්‍රමිකතා, ගජමිතුරුවාදය සමග සම්බන්ධ වීම වැළැක්විය නොහැකිය.
ධනේශ්වර පක්ෂවලට විකල්ප ලෙස පවතින පක්ෂවල තත්වය කුමක්ද? අපි ලංකා සමසමාජ පක්ෂය උදාහරණයකට ගනිමු. මේ වන විට එහි කලුතර දිස්ත්‍රික් සංවිධායක යයි කියන ශාන් ජයසිංහ නම් පුද්ගලයා පාතාල අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ රටෙන් බැහැරව ජීවත් වන්නේ යයි සලකන අයෙකි. කපු මහතකුගේ පුතකු වූ, සුළුතර කුලයක් නියෝජනය කළ කොට්ටෝරුගේ පබිලිස් සිල්වා හෙවත් කේ.පී. සිල්වා නම් කම්කරුවා නායකත්වය දැරූ ලංකා කොමියුනිස්ට් පක්ෂයටවත් වර්තමානයේ දේශපාලන අපේක්ෂා සහිත තරුණයකුට පිවිසීමට හැකිද? ඒ ඔස්සේ ඉදිරියට යා හැකිද? අඩු තරමේ ප්‍රධාන පක්ෂයක් සමග සන්ධානගත වද්දී ලැයිස්තුවක අපේක්ෂකකමක්වත් ලබාගත හැකිද?
ධනේශ්වර ප්‍රභූ දේශපාලනයට විකල්පය ලෙස පවතින්නේ ජනතා විමුක්ති පෙරමුණයි. එහෙත්, එය තවමත් මිලිටන්ට් හෙවත් යුදකාමී ලක්ෂණ මුළුමනින්ම අතහැර දමා ඇති බවක් නොපෙනේ. පක්ෂයේ අභ්‍යන්තර නායකත්වය තවමත් ගුප්තය. එයට ඇතුළු වීම සාමාන්‍ය අපේක්ෂා සහිත අයෙකුට කළ නොහැකි දෙයකි. එය ඔස්සේ ඉදිරියට යාම තනිකරම පූර්ණ ජීවිත විපර්යාසයක් ඔස්සේ පක්ෂ සංස්කෘතිය මුළුමනින්ම වැළඳ ගැනීම ඔස්සේ පමණක් කළ හැකි දෙයකි. එය ද පක්ෂ නායකත්වයේ විශ්වාසය මත සිදුවන්නකි. ජවිපෙ ව්‍යවස්ථාව මගින් ප්‍රකාශිත මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ක්‍රමය පවතින දෙයක් නොවේ. සරලව කිවහොත් ජවිපෙ තුළ කිසිදු අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. ඇත්තේ දැඩි අධිකාරිවාදයකි.
එසේ නම්, ජාතික ජන බලවේගය එම ගැටලුව විසඳා තිබේද? දේශපාලනයට පිවිසෙන්නට කැමති තරුණ පරපුරට විශ්වසනීය ලෙස ඉදිරියට යාමට හැකි ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන ව්‍යූහයක් ජාතික ජන බලවේගය නිර්මාණය කර තිබේද? අපට පෙනෙන ආකාරයට නම්, මුලදී එවැනි ප්‍රවණතාවක් තිබුණා නම්, දැන් එය සම්පූර්ණයෙන්ම හකුළා දමා තිබේ. ජාතික ජන බලවේගය මේ වන විට සම්පූර්ණයෙන්ම ජවිපෙ ආධිපත්‍යයට නතු කරගෙන හමාරය.
හොරු පැරදවීම ලෙස සන්නාමගත කරන ලද ප්‍රභූ විරෝධය අවසානයේදී යොමු වී තිබෙන්නේ පැරණි ප්‍රභූන් වෙනුවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයන් දේශපාලන නායකත්වයට පත් කරන වැඩසටහනකටය. ඔවුන් ස්වයං ප්‍රකාශිත අවංක, දූෂණයෙන් තොර, දක්ෂ, උගත්, කළ යුතු දේ දන්නා පිරිසකි. ඔබට තිබෙන්නේ ඔවුන් නායකත්වයට පත් කර ඔවුන් කරන හැටි බලා සිටීමයි. ප්‍රභූ විරෝධය අවසානයේදී නතර වී තිබෙන්නේ එතැනයි.
අජිත් පැරකුම් ජයසිංහ