කාලයක් තිස්සේ මොනරාගල දිස්ත්‍රික්කය තුළ සොරකම් සහ කොල්ලකෑම් රැසක් සිදු කළ තරුණයන් හතර දෙනකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්  අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.

පහේ කල්ලිය නමින් හඳුන්වන මේ අපරාධකරුවන් කණ්ඩායම මුදල් වැය කරමින් මෙහෙයවා ඇත්තේ මොනරාගල පාලාරුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.

සැකකරුවන් මීට මාස කිහිපයකට ඉහතදී ගෝනගංආර ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී දරුවාට කිරි පොවමින් සිටි මවගෙන් දරුවා උදුරාගෙන මරන තර්ජන එල්ලකොට කාන්තාවගේ ගෙල බැඳි රන් මාලය සහ කරාබු ජෝඩුව පැහැරගෙන ගොස් තිබිණි.

මීට අමතරව කුඩාඔය ප්‍රදේශයේ නිවෙසකට පොලීසියෙන් යැයි කියා ඇතුළු වී ගෙහිමියාගේ ගෙල බැඳි රන් මාලයක් ද වැල්ලවාය ප්‍රදේශයේ කුඩා වෙළෙඳසලක් හිමි කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක්ද කොල්ලකා තිබේ.

මේ සිද්ධීන් පිළිබඳව දීර්ඝ වශයෙන් විමර්ශන කළ මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ප්‍රේමතිලක මහතා විසින් සැකකරුවන් හඳුනාගෙන මහියංගණය, මොනරාගල, තෙලුල්ල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී කොල්ලකෑ රන් ආභරණ පිළිබඳ තොරතුරු පාපෝච්ඡාරණය කර තිබේ.

More Stories