දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද නිලධාරීන් වනුයේ, පොලිස් සාජන් ආර්.එල්. කුමාර සහ පොලිස් කොස්තාපල් ආර්.ඩී.එස්.බී. රාජපක්ෂ යන අයයි. ඔවුන් දෙදෙනාම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, රු. 50,000ක් බැගින් ඇප මුදල් මත නිදහස් කරනු ලැබිණි.

2010 ජූලි 25 වැනිදා ආසන්නයේ සිදු වූ බව සැලකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් එවකට අලව්ව පොලිස් අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් කුමාර දිසානායක මහතාද පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා CID විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ වන විට මීරිගම පොලිසියේ පරිපාලන කොට්ඨාස ප්‍රධානී ලෙස සේවය කරමින් සිටි ඔහු පසුව ඇප මත නිදහස් කරන ලදි.

මෙම නිලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනාව වන්නේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ගනේරලාලගේ ශාන්ත සමරවීර මහතා අනියම්ව රඳවා තබාගැනීමයි. ඒ මහතා පසුව අතුරුදන් වූ බව වාර්තාවේ. මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ ශාන්ත සමරවිරගේ සොයුරිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් ඔස්සේ පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත ආරම්භ කළ පරීක්ෂණයකට අනුවය.

පොලිසිය පවසන්නේ ශාන්ත සමරවීර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පළා ගිය බවයි. 2019 දී ITJP (සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය) වාර්තාවකට අනුව ශාන්ත ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත වධකාගාරයක රඳවා තබා ඇත. වධකාගාරයේ සිටි තවත් රැඳවියෙකු වන බස්නායක මුදියන්සේලාගේ විජයකාන්ත් නම් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ගන්සයිට් නම් ස්ථානයක වසරක පමණ කාලයක් රඳවාගෙන සිටි බව කියන පුද්ගලයා පසු කලෙක රහස් පොලිසියට පවසා ඇත්තේ ශාන්ත තමන් සමග එම ස්ථානයේ රඳවා තබා සිටි බවයි. කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ප්‍රගීත් නිසංසල විතානාරච්චි නමැති අයෙකු ද මෙම ස්ථානයේ රඳවාගෙන සිටි බව විජයකාන්ත් පවසා ඇත. ඔහු නාවික හමුදා ඔත්තුකරුවකු ලෙස ද කටයුතු කළ අයෙකි.

ශාන්ත සමරවීරගේ සොයුරිය වන ලලිතා ජයසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පවසා ඇති පරිදි 2022 ජුලි මස 25 දින ඇය මීරිගම පොලිසියේදී නීතීඥ චූල රංජීව අධිකාරි සමග පොලිසියේදී ශාන්ත සමරවීර හමු වී තිබේ. මුලදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කළද, පසුව නීතීඥ මැදිහත් වීම හේතුවෙන් සොයුරියට ඔහු පෙන්වා තිබේ. ඊළඟ සඳු දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව පොලිසිය පවසා ඇත.

Similar Posts