dadi-sathklara

කොරෝනා ව්‍යසනය හමුවේ වැඩි ම රෝගීන් සංඛ්‍යාවකට සත්කාරක සේවා සපයන පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානවලට අවශ්‍ය දැඩි සත්කාර ඒකක හා ඊට අවශ්‍ය උපාංගත් මානව සම්පතත් නොමැති වීම කණගා‍ටුදායක තත්ත්වයක් බව පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.

මේ වන විටත් දිස්ත්‍රික් මහ රෝහල හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණයෙන් හා සෞඛ්‍ය සේවකයින්ගෙන් ක්‍රියාත්මක වන ප්‍රතිකාර මධ්‍යස්ථාන 7ක් තිබුණ ද කොරෝනා සඳහා විශේෂිත දැඩි සත්කාර ඒකක කිසිවක් නොමැති වීම ගැටලුවක් බව ද ඔවුහු පෙන්වා දෙති.

පොලොන්නරුව මහ රෝහලේ කොරෝනා ප්‍රතිකාර ඒකකය,පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ පවත්වාගෙන යනු ලබන විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය,පුනානි පෞද්ගලික විශ්ව විද්‍යාලයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානය,පුනානි බ්‍රැන්ඩික්ස් ආයතනයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානය හා වැලිකන්ද විශේෂිත කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය යන ස්ථානත් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය හා හිඟුරක්ගොඩ ප්‍රතිකාර දිශා රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයත් යන ස්ථාන 7 හිම රෝගීන් 3000 කට ආසන්න සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබමින් සිටියත් ඒ වෙනුවෙන් ම වෙන් වූ දැඩි සත්කාර ඒකක නොමැති බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ පිළිබඳව පොලොන්නරුව මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය නිහල් ගුණතිලක මහතාගෙන් අපි විමසීමක් කළෙමු.

“අපි පොලොන්නරුව මහ රෝහලේ අනෙකුත් රෝගී සත්කාරක සේවා ඇඳන් 1200ක ට  රෝගී සත්කාරක සේවා සපයන ගමන් තමයි කොවිඩ් රෝගින් තවත් විශාල පිරිසක් බලා ගන්නේ.

අපේ මහ රෝහලේ දැනට අපි කොරෝනා රෝගීන් සඳහා දැඩි සත්කාර ඒකකයක් පවත්වාගෙන යනවා ඇඳන් 03ක.පසුගිය දා රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අපේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවල අඩුපාඩු පිළිබඳව සොයා බැලීමට පැමිණියා.

ඒ අවස්ථාවේ වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඇඳන් 04කුත් අපේ මහ රෝහලේ දැඩි සත්කාර ඇඳන් 05කුත් අලුතෙන් ඉක්මනින්ම ලබා දෙන්න කටයුතු කරන බව කීවා.අපි මේ ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට දන්වලා තියෙනවා.දැනට අවශ්‍ය උපකරණ හා පහසුකම් ලැබෙමින් පවතිනවා.දැනට ඔක්සිජන්වල වෙන්ටිලේටර්ස්වල අඩුපාඩුවක් නෑ.අපි සියලු දේවල් කෙරෙහි අවධානය යොමු කරලා තියෙනවා.ඊට සූදානම් කරමින් ඉන්නවා.දැනට අපේ කාර්යමණ්ඩල මේ සඳා විශාල කැපකිරීමක් කරමින් ඉන්නවා.” යැයි ද ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත් පොලොන්නරුව දිස්ත්‍රික ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පැවසුවේ කොරෝනා රෝගීන් 3000කට ආසන්න සංඛ්‍යාවක් සඳහා රෝගී සත්කාරක සේවා සැපයීම සිදු කෙරෙන බවයි.අවශ්‍ය යටිතල පහසුකම් හා ඩැඩි සත්කාර ඒකක පහසුකම් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ද හෙතෙම වැඩි දුරටත් පැවසීය.පින්තුරවල දැක්වෙන්නේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ නිරීක්ෂණ සංචාරයයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories