www.dailyreporter.lk

2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම 5% (මාණ්ඩලික නිලධාරීන්ට නම් 6%) සිට 8% දක්වා වැඩි කිරීම හේතුවෙන් ඔවුන්ගේ මූලික වැටුපෙන් අඩු කරන මුදල වැඩි වේ. එසේ වෙද්දී පවා රජයේ සේවකයන්ට සැලකිය යුතු වැටුප් වැඩි වීමක් ලබාදී තිබේ.

ශ්‍රී ලංකා රජය යනු රජයෙන් යැපෙන, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන්, රජය සමග කොන්ත්‍රාත් කරන්නන් හා රජයෙන් යැපෙන සෙසු බලවේගවල ආධිපත්‍යයෙන් යුත්, වැඩ කරන ජනතාව සූරාකන ව්‍යූහයක් බව නැවතත් ඔප්පු කර තිබේ. රජයෙන් ඍජුවම යැපෙන පිරිස (විශ්‍රාමිකයන් ද සමග) රටේ ජනගහනයෙන් 10%ක් (ලක්ෂ 22කට වැඩි) පමණ වන අතර, රටේ ජනගහනයෙන් 40%ක් පමණ රජයෙන් යැපෙන බව අනුමාන කළ හැකිය. රටේ ප්‍රධාන ඡන්ද පදනම වන්නේ එයයි. ඉතිහාසයක් මුළුල්ලේ ලාංකීය දේශපාලනය තුළ සිදු වී තිබෙන්නේ මෙම බලවේගය පිනවීමයි. ඔවුන් වෙනුවෙන් දිගින් දිගටම ගත් ණය හේතුවෙන් අවසානයේදී රජය බංකොලොත් විය.

ලංකාවේ රජය යනු ධනපති පන්තියේ ආධිපත්‍යයෙන් යුතු එකක් නොව, මෙම මධ්‍යම පන්තියේ ආධිපත්‍යයෙන් යුත්, ඔවුන්ගේ අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව දෙන එකකි. ඒ සඳහා ඍජු හා වක්‍ර බදු මගින් ව්‍යවසායකයන් මෙන්ම කම්කරු පන්තිය ද සූරාකෑම එහි ස්වභාවයයි. ලංකාවේ ප්‍රධාන බලවේග සියල්ලම නියෝජනය කරන්නේ මෙම මධ්‍යම පන්තියයි. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, ජාතික ජන බලවේගය, පොදු ජන පෙරමුණ වැනි රාජ්‍ය මූලික ආර්ථිකයන් ප්‍රවර්ධනය කරන බලවේග මෙම පන්තියේ නියෝජිතයන්ය.

එහෙත්, ලංකාවේ ආර්ථිකය මේ පන්තිය හේතුවෙන් කඩා වැටිණි. දැවැන්ත, අකාර්යක්ෂම රාජ්‍ය අංශයක් බිහි වූ අතර එය නඩත්තු කළේ ණය ගැනීමෙනි. පෞද්ගලික අංශයට සම අවස්ථා නොලැබුණු අතර, ශ්‍රී ලංකාව තවමත් ව්‍යාපාර කිරීම පහසු රටක් නොවේ. ව්‍යවසායකයෙකුට පාරිසරික බලපත්‍රයක් වංචනික ලෙස ලබාදීම සඳහා අල්ලසක් ගැනීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා සහ ජවිපෙ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු (දැන් ජවිපෙ නැත) අත්අඩංගුවට ගෙන සතියක් නැත. රට බංකොලොත් වුණේ මෙම තත්වය නිසාය.

රනිල් වික්‍රමසිංහ යනු 2000 දශකයේ සිටම මෙම මධ්‍යම පන්තික රජය ව්‍යවසායකයන්ට ප්‍රමුඛතාව දෙන රජයක් බවට පත් කිරීමේ දැක්මකින් යුතුව උත්සාහයන් දැරූ ධනේශ්වර නායකයෙකි. එහෙත්, ඔහුගේ ප්‍රතිපත්ති හැම විටම මෙම මධ්‍යම පන්තිය විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ආර්ථිකය කඩා වැටුණු 2001 හා 2022 වසරවල ඔහු පැමිණ ආර්ථිකය ගොඩගැනීමට උර දුන් මුත්, හැකි පළමු අවස්ථාවේදීම මෙම මධ්‍යම පන්තිය රනිල් වික්‍රමසිංහ පරාජය කර පරණ පුරුදු ආර්ථික පිළිවෙත් වෙත යොමු විය.

දැන් ද සිදු වන්නේ එයයි. රනිල් වික්‍රමසිංහ 2024 වසර සඳහා වන අයවැයෙන් කරන්නට උත්සාහ කරන්නේ මේ මධ්‍යම පන්තිය මෙල්ල කරගැනීමටයි. රාජ්‍ය අංශයේ වැටුප් ගෙවීම සඳහා සෑම මසකම රු. බිලියන 93ක් වැය වේ. එය රාජ්‍ය වියදම්වලින් 35%කි. රජයේ සේවකයන්ට වැඩි කළ පඩි ගෙවීම සඳහා ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3,900 සිට රුපියල් බිලියන 7,350 දක්වා වැඩි කර ඇත. වැට් බද්ද ජනවාරි සිට වැඩි කරන බව කලින්ම නිවේදනය කරන ලදි.

ණය ගත යුත්තේ ආයෝජන සඳහා මිස පරිභෝජනය සඳහා නොවන බව බුදුන්වහන්සේ ද පැවසූ බව ද අප ණය ගත්තේ පරිභෝජනය සඳහා බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අයවැය කතාවේදී පැවසීය. මේ ආකාරයේ ණය ගැනීම විසින් රජයේ ප්‍රශ්න තවත් උග්‍ර කරනු ඇත. දැනටත් රජය ණය හා පොළී ගෙවීම සඳහා මසකට රු. බිලියන 220ක් වැය කරයි. නැවත ණය ගන්නේ කලින් ගත් ණය ගෙවන්නට බව මෙමගින් පැහැදිලි වේ. අස්වැසුම, වකුගඩු දීමනා, වැඩිහිටි දීමනා වැනි සුබසාධන ප්‍රතිලාභ වෙනුවෙන් අයවැයෙන් වෙන් කරන්නේ මසකට රු. බිලියන 30ක් පමණි. කෙසේ වෙතත්, මෙම දුෂ්කර අවස්ථාවේදී දිළිඳු ජනතාවට සහන සැලසීම සඳහා අස්වැසුම වෙනුවෙන් වූ ප්‍රතිපාදන තුන්ගුණයකින් වැඩි කිරීමටත්, වැඩිහිටි දීමනාව මසකට රු. 2000 සිට 3000ට වැඩි කිරීමටත්, වකුගඩු රෝගී දීමනාව රු. 5000 සිට 7500ට වැඩි කිරීමටත් රජය තීරණය කර තිබේ.

අයවැයෙහි අනෙක් වැදගත් කරුණ වන්නේ රාජ්‍ය ආදායම් වර්ධනය කරගැනීම කෙරෙහි අවධානය යොමු කර තිබීමයි. රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 10-15% අතර වැඩි කර නොගතහොත් රට නැවතත් ආර්ථික අපායකට වැටෙනු ඇති බව ජනාධිපතිවරයා පැවසීය. බදු ආදායම වැඩි කරගැනීමට රජය විසින් දරන ලද උත්සාහය යම් දුරකට සාර්ථක වී තිබේ. 2023 මුල් මාස නමය තුළ මාසික සාමාන්‍ය බදු ආදායම රු. බිලියන 215කි.

2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුගත මුළු ආදායම සහ ප්‍රදාන රුපියල් බිලියන 4,127 ක් වන අතර, මුළු ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 6,978 ක් වේ. එබැවින් බැංකු ප්‍රාග්ධනීකරණය සමඟ අයවැය හිඟය රුපියල් බිලියන 2,851 කි. 2023 වර්ෂය සඳහා සංශෝධිත ඇස්තමේන්තු මත පදනම්ව දළ දේශීය නිෂ්පාදනයට අනුව බදු ආදායමේ අනුපාතය 9.2%කි. එයට සාපේක්ෂව 2024 වර්ෂය සඳහා අයවැයෙන් ඇස්තමේන්තුගත දළ දේශීය නිෂ්පාදනයට අනුව බදු ආදායමේ අනුපාතය 12.1% කි. 2022 වර්ෂයේදී එම අනුපාතය 7.3% ක් විය.

2024 සඳහා ඇස්තමේන්තුගත මුළු බදු ආදායම රුපියල් බිලියන 3,820 කි. භාණ්ඩ හා සේවා වලින් රු. බිලියන 2,235 ක්, ආදායම් බද්දෙන් රු. බිලියන 1,080 ක් සහ අපනයනවලින් රු. බිලියන 505 ක බදු මෙයට ඇතුළත් වේ.

මේ වන විට වැට් බද්ද වැඩි කිරීමට අමතරව අධ්‍යාපනය, සෞඛ්‍යය හා ඇතැම් ආහාර හැර අන් සියලු දෙයින් වැට් බදු අය කිරීමට රජය තීරණය කර තිබේ. මෙසේ වක්‍ර බදු වැඩි කිරීමට හේතුව වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව හා සුරාබදු දෙපාර්තමේන්තුව රාජ්‍ය ආදායම් ඉලක්ක සාක්ෂාත් කර දීමට අසමත් වීමයි. මේ ආයතනවල දූෂණ හා අකාර්යක්ෂමතාව මෙයට හේතුවයි.

මේ අවුරුද්දේ බදු ආදායම් ඉලක්ක සාක්ෂාත් කරගැනීමට අසමත් වීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ආදායම් අධිකාරියක් පිහිටුවීමේ වැඩපිළිවෙලක් අයවැය කතාවේදී සඳහන් කළේය. ලබන වසර සඳහා රජයේ සමස්ත බදු ආදායම රුපියල් ට්‍රිලියන 4.1ක් ලෙස පුරෝකථනය කර ඇති අතර, එය 2023 වසරේ රුපියල් ට්‍රිලියන 2.85ට වඩා තියුණු ලෙස ඉහළ ගොස් ඇති බව අයවැය ලේඛනය පෙන්වා දෙයි. බදු පැහැර හැරීම වැළැක්වීම සඳහා ඇතැම් මහජන ආර්ථික කටයුතුවලදී බදු අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබේ.

අයවැයෙහි තවත් වැදගත් යෝජනා රැසක් තිබේ. එම යෝජනා ක්‍රියාත්මක වීම තීරණය වන්නේ ආදායම් අනුවය. කෙසේ වෙතත්, එම යෝජනා මගින් රජයේ දැක්ම ප්‍රකාශ වන නිසා ඒවා වැදගත්ය.

මෙම ලිපියෙහිදී අපගේ අවධානය යොමු වන්නේ රජය ආදායම් උපදවා ගන්නා ආකාරය හා ආර්ථිකය තිරසර අන්දමින් කළමනාකරණය කරගන්නා ආකාරය නිසා අප අවධානය යොමු කරන්නේ ඒ වෙතයි.

ශ්‍රී ලංකා මහ බැංකුව 2024 වසරේදී රටේ ආර්ථිකයේ 3.3% ක වර්ධනයක් අපේක්ෂා කරයි. 2022දී ආර්ථිකය 7.8%කින් හැකිළුණු අතර 2023දී හැකිළීම 2%ක් යයි අපේක්ෂා කෙරේ.

2024 වසරේ අයවැය වියදම වාර්තාගත රුපියල් ට්‍රිලියන 6.98ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. එය 2023 වසරට සාපේක්ෂව 33%කට ආසන්න වර්ධනයකි. ණය ප්‍රතිව්‍යූහගත කිරීම් සමග අර්බුදයට යන බැංකු ප්‍රාග්ධනීකරණය සඳහා රුපියල් බිලියන 450ක් වෙන්කර ඇත. ප්‍රාග්ධන වියදම දෙගුණයකටත් වඩා වැඩි වීකර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අනුව නය තිරසරභාවය තහවුරු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව විසින් සාක්ෂාත් කරගත යුතු ප්‍රධාන ඉලක්කයක් වන්නේ, ප්‍රාථමික ගිනුමේ හෙවත් ණය ආපසු ගෙවීම් හැර රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3% ක අතිරික්තයක් ලෙස 2025 වන විට සකස් කරගැනීමයි. 2024 දී මෙය 0.6%ක් ලෙස පුරෝකථනය කර ඇති අතර 2023දී 0.7%ක් විය.

සමස්තයක් ලෙස, මෙම අයවැය දැක්මක් සහිත සැලැස්මකි. එහෙත්, එහි අභියෝග රැසක් තිබේ. පළමු අභියෝගය වන්නේ, මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය දේශපාලනික ස්ථාවරත්වය නිර්මාණය කරගැනීම සඳහා මහජන විශ්වාසය දිනාගැනීමයි. එය කරන්නට සිදු වී තිබෙන්නේ, කිසිදු විකල්ප දැක්මක් නොමැතිව සියල්ල විවේචනය කරමින් සිටින ජනප්‍රියවාදී දේශපාලන බලවේග හමුවේය. එසේම, ඉතා පටු ආත්මාර්ථකාමී අරමුණු පෙරදැරි කරගෙන විනාශයට රුකුල් දිය හැකි මධ්‍යම පන්තියක් හා රාජ්‍ය සේවයක් හමුවේය. එය අසීරු ගමනකි.

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

Similar Posts