ඒ ජනපති කීවත්, මේ ජනපති කීවත් ව්‍යවස්ථා විරෝධී දේවල් කරන්නේ නෑ
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩලය අනුමැතිය ගිය සතියේ ලැබිණි. එම සංශෝධනයෙන් රටට වෙන්නේ කුමක්දැයි අරුණට මෙසේ අදහස් දක්වන්නේ අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂය.
ආණ්ඩුව 22 වැනි සංශෝධනය ගේන්න හදනවා. ඊට ඉස්සෙල්ලා 21 ට මොකද වුණේ කියලා කියනවද?
විසි එක්වන සංශෝධනය දැනට පාර්ලිමේන්තුවේ තියෙනවා. එය කරුණු අටක් පදනම් කරගෙන ඉදිරිපත් කළ සංශෝධනයක්. එහි වගන්ති හැටපහක් තියෙනවා. ඒ කෙටුම්පතේ බොහෝ වගන්තිවලට ජනමත විචාරණයක අනුමැතියක් ඕනෑ කියා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කරලා තියෙනවා. එම නිසා විසි එක්වන සංශෝධනය ස්වභාවික මරණයක් බවට පත් වෙයි.
එහෙම බලන විට විසිඑක්වන සංශෝධනය ව්‍යවස්ථාවට ඇතුළත් නොවී විසි දෙවන සංශෝධනය ඉදිරිපත් වූයේ කෙසේද?
ලැබෙන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතක් අංක කර භාර ගැනීම පාර්ලිමේන්තු නිලධාරින් කරන වැඩක්. විසිඑක්වන සංශෝධනයෙන් පසු මම විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය භාර දුන්නා පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙස. නමුත් මම ඇමැතිවෙලා එය ආණ්ඩුවේ යෝජනාවක් ලෙස ගෙනෙන නිසා පෞද්ගලික මන්ත්‍රි යෝජනාව ඉල්ලා අස් කර ගත්තා. එය තමයි විසි දෙවන සංශෝධනය.
22 සම්මත වුණොත් 21 සංශෝධනයක් නැතිව ව්‍යවස්ථාවේ රික්තයක් ඇති වෙනවද?
නැහැ. රික්තයක් ඇතිවෙන්නේ නෑ. 22 පාර්ලිමේන්තුවේ සම්මත වුණොත් එය ව්‍යවස්ථාවට ඇතුළත් වන්නේ 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලෙසයි.
22 වන සංශෝධනයේ පිතෘවරයා කවුද?
එම සංශෝධනයේ පිතෘත්වය තියෙන්නේ මට. දහඅටවන සහ විසිවන සංශෝධන ජනතා විරෝධී බව රටම පිළිගත්තා. ඒක නිසයි ඒ දෙකම අහෝසි කළේ. එම සංශෝධනවල කර්තෘ අඥාතයි. එම නිසා ඒවායේ තියෙන වැරදිවලට බණින්න මිනිහෙක්වත් සොයා ගන්න බැහැ. දහනවය සහ විසි දෙවන සංශෝධනවලට පීතෘත්වයක් තියෙනවා. එම නිසා මම ඒවායේ තියෙන කරුණුවල වගකීම ගන්න නිසා මට බණින්න පුළුවන්.
විසි දෙවන සංශෝධනයෙන් ව්‍යවස්ථාවේ වන සංශෝධන මොනවද?
විධායක ජනාධිපති බලතල අතරින් ජනමත විචාරණයක අනුමැතියකින් තොරව ඔහුගේ බලතල උපරිම මට්ටමට ව්‍යවස්ථාදායකය වෙත පවරා දීම මෙහි මූලිකම හරයයි. එලෙස පවරා දීමෙන් එම බලතල ව්‍යවස්ථාදායකය ක්‍රියාත්මක කරන්න අවශය බව අදහස් කරන්නේ නැහැ. ව්‍යවස්ථාදායකය නියෝජනය කරන අගමැතිවරයා සමග කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තුව තුළ පිහිටුවන ව්‍යවස්ථාදායක සභාවටත් එම බලතල ක්‍රියාත්මක කිරීමේ අයිතිය ලැබෙනවා. ස්වාධීන කොමිෂන් සභාවලටත් එම බලතල ලැබෙනවා. ඒක තමයි මූලික හරය වන්නේ කොමිෂන් සභා පිහිටුවීම, ස්වාධීනත්වය ආරක්ෂා කිරීම, ඉහළ අධිකරණ හා රජයේ තනතුරුවලට පත් කිරීම යනාදිය ජනාධිපතිවරයාගේ සිතැඟියාවට අනුව කිරීමට නොහැකිවන අයුරින් සාමූහික කණ්ඩායම්වලට එම බලය පවරා දී තිබෙනවා.
ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය යළි වෙනස් වෙනවද?
දහනව වන සංශෝධනයෙන් ඉදිරිපත් කළ ආකාරයට ඉදිරියටත් සිදු වෙනවා.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීමටත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අවශ්‍යද?
ඔව්. එය අලුත් නීතියක්.
මහ බැංකු අධිපතිවරයා පත් කිරීම සඳහා නව නීතියක් ක්‍රියාත්මක කළේ අර්ජුන මහේන්ද්‍රන්ගේ සිද්ධිය නිසාද?
ලෝකයේ සෑම රටකම නීති සංශෝධන ඉදිරිපත් වෙන්නේ නරක පූර්වාදර්ශ නිසයි. ඉස්සර ද්විත්ව පුරවැසි ප්‍රශ්නය ලංකාවට තිබුණේ නෑ. ද්විත්ව පුරවැසියන් එපා වුණේ බැසිල් රාජපක්ෂ නිසානේ. අර්ජුන මහේන්ද්‍රගේ ප්‍රශ්නයත් එහෙමයි. මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ද දූෂිත ගනුදෙනු කරමින් ආර්ථිකය කඩා වැටීමට දායක වුණා. ඔහුට එවැනි තනතුරක් දරන්න සුදුසුකම් නැහැ. ඔහු ආර්ථික විද්‍යාඥයකු නෙවෙයි. දේශපාලන ගජමිතුරු බව පමණයි එකම සුදුසුකම. ඒ නිසයි මුළු රටේම ජනතාව අද දුක් විඳින්නේ. එම නිසා ඔය බැංකු අධිපතිකමට සුදුස්සන් පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත යුතුයි කියලා නව නීතියක් හඳුන්වා දුන්නා.
22 ට එකතුවන අනෙකුත් අලුත් යෝජනා මොනවද?
දහනව වන ව්‍යවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් පත් කිරීමේ කර්තව්‍යය අගමැතිට හා විපක්ෂ නායකට පැවරී තිබුණා. එම බලතල ඔවුන්ගෙන්ද ඉවත් කරලා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් තුනට භාර දී තිබෙනවා. එය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදියි. එය කථානායකවරයාගේ අධීක්ෂණය යටතේ වෙනවා. මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නිල නොවන මට්ටමින් පත් කරන සාමාජිකයන් තිදෙනා පත් කිරීමට ව්‍යවස්ථාදායක සභාව යටතට පත් කර තිබෙනවා. ඒ 2002 මූල්‍ය පනතින්. ඒවා දැනමටත් නීතියේ තියෙනවා. දහනව වන සංශෝධනය යටතේ ජනපතිට අමාත්‍යාංශ තුනක් දරන්න පුළුවන්. මෙම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමැතිකම අනිවාර්යයෙන්ම දරන්න පුළුවන් කියා ඇතුළත් කර තිබෙනවා. පනත් කෙටුම්පතක නීත්‍යානුකූලභාවය විමසීම සඳහා අධිකරණයට යාමේ දින හතක කාල සීමාව දින දාහතරක් දක්වා වැඩි කරනවා. දූෂණයට එරෙහිව දහනව වන සංශෝධනයේ කරුණු තිබුණා. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභා නීතියත්, වත්කම් බැරකම් ප්‍රකාශන නීතියත්, අවලංගු කර නව යාන්ත්‍රණයක් හදනවා, වංචා දූෂණ මැඬලන්න. පනත මේ වන විට කෙටුම්පත් කර අවසන්. එම පනතත් කඩිනමින් සම්මත කරනවා. අමාත්‍යාංශයක යම් ඇමැතිවරයෙක් ධුර දැරීම නතර වූ විට අමාත්‍යාංශයේ ලේකම් අක්‍රිය වෙනවා. නමුත් ඒ තත්ත්වය වෙනස් කිරීමට සංශෝධන ගෙන එනවා. ඇමැතිවරයාගේ ධුර දැරීම නතර වීම නොතකා ලේකම්වරයා ධුර දැරීම කළ යුතු බවයි නව නීතියේ සඳහන් වන්නේ.
ගෝඨාභය රාජපක්ෂගේ බලතල වැඩි කළ විසිවන සංශෝධනයේ යෝජනා විසි දෙවන සංශෝධනයට යොදා ගත්තේ නැත්ද?
විසිවන සංශෝධනය නරකයි කීවාට හොඳ ලක්ෂණත් තියෙනවා. එම හොඳ ලක්ෂණ විසි දෙවන සංශෝධනයෙන් අරක්ෂා කර තිබෙනවා. 1978 ව්‍යවස්ථාව යටතේ මුල් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරනවා නම් මූලික හරයට සහ මූලධර්මවලට හානි කිරීමට නොහැකි ලෙස පරිභාහිර දේ ඇතුළත් කළ නොහැකි බවට වූ සීමාව තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවලදී පමණක් ජනපති නියෝග අභියෝගයට ලක් කරන්න පුළුවන් කියා විසි වන සංශෝධනයේ තිබුණා. ජනාධිපතිගේ අමාත්‍යාංශ තීන්දු තීරණ සම්බන්ධව අභියාචනාධිකරණයේ රිට් බලය පුළුල් කර තිබෙනවා. එම බලය එලෙසම ක්‍රියාත්මක වෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මණ්ඩල එකොළහේ සිට දහහත දක්වාද, අභියාචනාධිකරණයේ විනිසුරු සංඛ්‍යාව දොළහේ සිට විස්ස දක්වාද, විසිවන සංශෝධනයෙන් ක්‍රියාත්මක වූ අතර එය විසි දෙවන සංශෝධනයටත් ඇතුළත් කර තිබෙනවා.
ඔබ කියනවා 22න් ජනපතිට ආරක්ෂක ඇමැතිකම විතරයි දරන්න පුළුවන් කියලා. නමුත් අමාත්‍යාංශයට ගැසට් නොකළ සියලු විෂයයන් ව්‍යවස්ථාවේ හැටියට ජනාධිපතිවරයා යටතට පැවරෙනවා නේද?
එහෙම කරන්න බැරි විදියට 22 ට ප්‍රතිපාදන ඇතුළත් කර තිබෙනවා. අමාත්‍යාංශයක් ඇමැතිවරයාට භාර දෙන තුරු ජනාධිපතිවරයා යටතේ තබාගත යුතු බවට දැනට පවතින ව්‍යවස්ථාවේවත් ප්‍රතිපාදන නැහැ. ප්‍රකාශිත පමණයි. 22 වැනි සංශෝධනයටත් මම ප්‍රකාශිතව එය ඇතුළත් කර තිබෙනවා.
එය සිදුවන්නේ කොහොමද?
දින දහහතරක කාලයක් ඕනෑම අමාත්‍යාංශයක් ජනාධිපතිවරයා යටතේ තබාගත යුතුයි. ඊට වඩා වැඩි කාලයක් තබා ගන්නේ නම් ජනාධිපතිවරයා යටතේ තබා ගැනීමට අගමැති උපදෙස් ලබාදිය යුතුයි. කණ්ඩයක් නොවී අමාත්‍යාංශ පවත්වාගෙන යෑමේ නීතිරීති ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබෙනවා.
ආරක්ෂක ඇමැතිකම යළි ජනාධිපතිවරයා යටතේ තබා ගැනීම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යෝජනාවක් නේද?
නැහැ. මෙය කාගේවත් යෝජනාවක් නෙවෙයි. වගකීම මම භාර ගන්නවා. මම ව්‍යවස්ථාවට පටහැනි දේවල් කරන්නේ නැහැ. ඒ ජනාධිපති කීවත්, මේ ජනාධිපති කීවත් ව්‍යවස්ථාවට පටහැනි දේවල් ඇතුළත් කරන්නේ නැහැ. තිලක් මාරපන ආරක්ෂක ඇමැති ලෙස කටයුතු කරන විට ලංකාවේ ආරක්ෂක ඇමැතිකම සම්බන්ධයෙන් ගැටලුව ආවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කීවා එල්ටීටීඊ සංවිධානයේ අවි ආයුධ නැව් විනාශ කරන්න කියලා. ඇමැති ලෙස තිලක් මාරපන එය නතර කළා. ඒ අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න අවශ්‍ය ලිපි ලේඛන හදලා ජනාධිපතිනියට දුන්නෙ මම. ආරක්ෂක ඇමැතිකම සහ සේනාධිනායකකම දෙදෙනකුට කරන්න බෑ. ඒ දෙකම ජනාධිපතිගේ වගකීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කළා. 2003 එක්සත් ජාතික පක්ෂයේ දහනවවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය ඉදිරිපත් කරන විට ඊට විරුද්ධව මමත් පෙනී සිටියා. ආරක්ෂක ඇමැතිකම සම්බන්ධයෙන් මම එදත් තර්ක කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන වගන්තිය සංශෝධනය කරනවා නම් ජනමත විචාරණයක් අවශ්‍යයි. ජනතාවගේ ආරක්ෂාව ජනාධිපතිවරයා සතු වීම ඊට හේතුවයි.
වත්කම් බැරකම් පනතේ වැරදිකාරයෙක් වුණොත් දැන් දෙන්නේ රුපියල් 1000 ක දඩයක්. ඉතින් මන්ත්‍රීලා වත්කම් ප්‍රකාශ නොකර සිටිනවා. මේ නීති 22 න් වෙනස් වෙනවද?
ඔව්. දැඩි දඬුවම් දෙන නීති එනවා. වත්කම් සොයා ගන්න පුළුවන් නව තාක්ෂණය යොදාගත හැකි ආකාරයේ නව නීති මෙයට ඇතුළත් කර තිබෙනවා. දත්ත ඇතුළත් කරවීම ඕනෑම කෙනකුගේ වත්කම් ඉහළ පහළ යන ස්වභාවය නිරීක්ෂණය කරන්න පුළුවන්. සාමාන්‍ය ක්‍රමයෙන් පරිබාහිරව වත්කම් ලැබෙන ක්‍රමය සොයා ගන්න පුළුවන් තාක්ෂණයක් ඇතුළත් වන අයුරින් එය හදනවා.
ඔබ මුලින් කීවා රජයේ ඉහළ පත්කිරීම්වලට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගන්න ඕනේ කියා. නමුත් ගෝඨාභය ජනපති කාලේ ව්‍යවස්ථාදායක සභාව ජනාධිපතිවරයාගේ රබර් මුද්‍රාවක් ලෙසනේ ක්‍රියාත්මක වුණේ?
එය විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදු වූ වරදක්. එය නිවැරැදි කිරීමට තමයි විසිදෙවන සංශෝධනය ගෙනාවේ.
ස්වාධීන කොමිෂන් සභා ගැන ඔබේ මතය කුමක්ද?
අධිකරණ සේවා කොමිසම හැර වර්තමානයේ ක්‍රියාත්මක වන්නේ දේශපාලන කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නැහැ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම පවා වර්තමානයේ දේශපාලනිකයි. ඒවා වෙනස් විය යුතුයි. 22 න් යළි කොමිෂන් සභා ස්වාධීන වේවි.
18, 19, 20 යන ව්‍යවස්ථා සංශෝධන තුනටම අත උස්සපු මන්ත්‍රීන් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඔවුන් 22 ටත් අත උස්සාවි. ඔබ ද්විත්ව ආචාර්ය උපාධිධාරියෙක්. නීති විශාරදයෙක්. මහාචාර්ය ජී.එල්. පීරිසුත් එහෙමයි. ජනපති නීතිඥ අලි සබ්රිත් මේ පාර්ලිමේන්තුවේ සිටිනවා. ඔබලා වැනි උගතුන් එහෙම කරනවා නම් අන් අය ගැන කවර කතාද? ඇත්තටම මන්ත්‍රීවරුන්ට ලැජ්ජාවක් නැද්ද?
එය මන්ත්‍රීවරුන්ගෙන් අහන්න ඕන ප්‍රශ්නයක්. මටත් ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා විසි වන සංශෝධනයට අත එසවීම සම්බන්ධයෙන්. එය මගේ අතින් සිදු වූ වරදක් බව පිළිගන්නවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙලා මාස නවයක් තුළ පාර්ලිමේන්තුව ද නොමැතිව රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනතාවගේ ආකර්ෂණයක් තිබුණා. ඒ ආකර්ෂණය නිසා තමයි මන්ත්‍රිධුර එකසිය පනහක් පමණ ගත්තේ. මම පොහොට්ටුව පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළා. විපක්ෂයේ අනන්‍යතාව තිබෙන අයගෙන් වැඩිම මනාප ගත්තේ මම. මට වැඩිය සරත් වීරසේකර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල ගත්තත් ඔවුන් වෙනත් දේශපාලන පක්ෂ හා සංවිධානවලට අයත්. මට ආසන සංවිධායකකමක් තිබුණේ නැහැ. මට ඡන්දය දෙන්න එපා කියලා පොහොට්ටු කාර්යාලයෙන් සති දෙකක කාලයක් ‘කැම්පේන්’ එකක් අරගෙන ගියා. එය මෙහෙය වූයේ බැසිල් රාජපක්ෂයි. මම හෘද සාක්ෂියට එකඟව දේශපාලනය කරයි යන විශ්වාසයෙන් තමයි කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව මට ඡන්දෙ දුන්නෙ. විසිවන සංශෝධනය මගේ හෘද සාක්ෂියට එකඟ නොවුණත් ජනතාවගේ විශ්වාසයට මම එකඟ වුණා. ඒ නිසා මම ඡන්දය දුන්නේ මට අන්තිම මොහොතේ අත එසවීමෙන් වැළකී සිටීමට හිටියත් වෙනත් පක්ෂවලින් අරගෙන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන බව මම දැනගෙනත් හිටියා. මම විරුද්ධ වුණා නම් විනය පියවර අරගෙන මන්ත්‍රී ධුරයෙන්ද එළියට දාන්න තිබුණා. එම නිසා මම ඉවසීමෙන් කටයුතු කළා.
වත්මන් පාර්ලිමේන්තු ක්‍රමය තුළ හෘද සාක්ෂියට වැඩ කිරීමට අවකාශ නැති බව ඔබගේ පිළිතුරෙන් පෙනෙනවා?
ලංකාවේ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන කිසිම දේශපාලන පක්ෂයක් නැහැ. එම නිසා හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න අමාරුයි. ව්‍යවස්ථාවම කෲරයි. හෘද සාක්ෂියට අනුව වැඩ කළත් එළියට දාන්න පුළුවන් විධිවිධාන තියෙනවා. එම නිසා ඡන්ද ක්‍රමයත් වෙනස් කරන්න ඕන.
හැම දෙයටම අත උස්සන මන්ත්‍රීවරු සිටින නිසා ජනතාව දෙසීය විසිපහම එපා කියනවා නේද? ජනතාවට මීට වඩා සාධාරණයක් ඉෂ්ට කරන්න බැරිද?
වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු අසූවක් විතර ඉන්නෙ අලුතෙන් ආපු අය. එම මන්ත්‍රිවරුන්ට මෙම චෝදනාව එල්ල කරන්න බැහැ. මට ඉදිරිපත් කරන්න පුළුවන්. මට සාධාරණීකරණය කරන්න විතරයි පුළුවන්. ඔළුගෙඩිවල ප්‍රශ්නයක් නෙවෙයි. ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා කියලා මම කියන්නෙ ඒකයි. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමයෙන් දූෂණයට මඟ පෑදෙනවා. එය වෙනස් කරන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගත් ප්‍රකාශ කළා. අපි විසිවන සංශෝධනයෙන් මැතිවරණ ක්‍රමය වෙනස් කළා. එහෙම සංශෝධනය කළා නම් මන්ත්‍රීලාට හෘද සාක්ෂියට අනුව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. විසිවන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කළා නම් ජනතාවට පාරට බැසීමේ වුවමනාවක් නැහැ. ඒ මැතිවරණ ක්‍රමය යටතේ අවංක මිනිසුන් පාර්ලිමේන්තුවට එනවා. තරුණ කෙල්ලො කොල්ලන්ගෙන් පාර්ලිමේන්තුව පිරෙන්න ඉඩ තිබුණා. වර්තමානයේ තිබෙන මැතිවරණ ක්‍රමය අනුව ඔවුන්ට එන්න බැහැ. වෘත්තිකයන්ට එන්න බැහැ.
මන්ත්‍රිවරුන්ට පක්ෂ මාරු කරන්න බැරි වෙන්න නීතියක් දාන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ යෝජනා කරනවා. ඔබේ මතය කුමක්ද?
ඒක මෝඩ කතාවක්. ඒ ගොල්ල ව්‍යවස්ථාව කියවලා නැහැ. දැන් තිබෙන ව්‍යවස්ථාව අනුව බැහැ. ඒකනේ ලලිත් – ගාමිණී එළියට විසි වුණේ. ජනතා විමුක්ති පෙරමුණ තරම් පක්ෂ මාරු කරපු පක්ෂයක් ලංකාවේ තියෙනවද? 2004 එක්සත් ජනතා නිදහස් සංධානයට එකතු වුණා. චන්ද්‍රිකා ජනාධිපතිනියගේ දරුවෝ. ඇයට දැඩිව එරෙහි වුණා. තාත්තා මරපු පක්ෂය සමග දේශපාලනය කිරීම ගැන. ඔවුන් සමග සන්ධාන ගත වෙන්න එපා කීවා. නමුත් රට ගැන හිතලා ජනාධිපතිනිය ජනතා විමුක්ති පෙරමුණ එකතු කර ගත්තා. චන්ද්‍රිකාගේ සාරි පොටේ එල්ලුණ නිසා තමයි මන්ත්‍රි ධුර තිස් නවයක් ගත්තේ. 2010 සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්ෂකයා කරනකොට ජනතා විමුක්ති පෙරමුණත් එම වේදිකාවට නැග්ගා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂ වේදිකාවේ. 2015 ජනතා විමුක්ති පෙරමුණ සිටියේ එක්සත් ජාතික පක්ෂ මෛත්‍රීපාල කඳවුරේ. ඒ ගොල්ලන්ට ගෙඩිය පිටින් පක්ෂය මාරු කරනකොට හොඳයි. මන්ත්‍රිවරු පක්ෂය මාරු කරනවාට ඩවා, නීති ගෙනෙනවාට වඩා පක්ෂය ගෙඩිය පිටින් මාරු කිරීමට තමයි නීති ගේන්න ඕන. හතර වතාවක් පැති මාරුකරලා තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ.
දැන් රටේ ජනතාවට කන්න නෑ. සල්ලි නෑ. තෙල් නෑ. ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ බඩ පිරිලා අතමිට සරු වෙනවද?
ව්‍යවස්ථාවෙන් විසඳුම් සොයන්න බැරි නම් මොකෙන්ද හොයන්න පුළුවන්. රටක් දියුණු වෙනවද නැද්ද කියලා හොයන්න පුළුවන් ව්‍යවස්ථාවෙන්. ව්‍යවස්ථාව දුර්වල නම් රට වැටෙනවා. ආණ්ඩුවලට බැහැ රටේ ආර්ථිකය හදන්න. නමුත් ඊට අවශ්‍ය අත්තිවාරම දාන්න පුළුවන් ආණ්ඩුවටයි. ඒ සඳහා මුල් වන්නේ නීතියේ ආධිපත්‍යයයි. එහෙම නැති රටවල් දියුණු වෙන්නේ නැහැ. සිංගප්පූරුව දියුණු වුණේ එහෙමයි. රටේ නීතිය තමයි මුලින්ම හදන්න ඕන.
උදයජීව ඒකනායක
ඡායාරූපය – සමන් අබේසිරිවර්ධන