පොලොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයට අයත් සොරුවිල විල්ලුව හා හඳපාන් විල්ලුව ට ඇතුළත් කර සිටින ගවයින්ට හඳුනා නොගත් රෝගයක් වැලදී  ගවයින් 25ක් පමණ මියගොස් ඇති බවත් මේ හේතුවෙන් වනෝද්‍යානයේ  ජීවත්වන  වනජීවීන්ට ද  බෝ වීමේ බරපතල අවදානමක් මතුව ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වනජිවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව වනජීවී කලාප කාර්යාලයේ නිලධාරීන් හා පොලොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරින් පිරිසක් පෙරේදා(12) ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව එම ප්‍රදේශවල නිරීක්ෂණ මෙහෙයුමක් දියත් කළහ.

එහි දී අනාවරණය වූයේ සොරුවිල විල්ලව හා හඳපාන් විල්ලුව ප්‍රදේශවල තැන තැන මැරී වැටි සිටින මීගවයින් 25ක ගේ මළ සිරුරු තිබෙන බවයි.මෙම නිරීක්ෂණ මෙහෙයුමේ ප්‍රධානියා ලෙස කටයුතු කළ පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක ඩබ්.එම්.කුමාරසිරි විජේකෝන් මහතා මෙසේ කීය.

“අපට මේ සිද්ධිය ඊයේ හවස වාර්තා වුනේ.සහකාර අධ්‍යක්ෂතුමාගේ උපදෙස් මත පොලොන්නරුව අඩවි කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද එක්ක වනෝද්‍යානයේ සොරුවිල විල්ලුවත් හඳපාන් විල්ලුවත් ආශ්‍රිත ප්‍රදේශය පරික්ෂා කළා.තැන තැන මිය ගිහින් සිටින ගවයින් 25ක ගේ මළ සිරුරු හමු වුණා.බෑලූ බැල්මට පේන්නේ මේක වෙනත් අනතුරක් නෙමෙයි වසංගත රෝග තත්ත්වයක් වෙන්න පුළුවන්.මේ ගැන ගිරිතලේ පශුවෛද්‍ය ඒකකයෙන් පරික්ෂණයක් සිදු කරාවි.

අපි පසුගිය කාලෙම කීවේ ගෘහාශ්‍රිත සතුන් වනෝද්‍යාන තුළට ඇතුළු කරන්න එපා කියලා. විශේෂයෙන් ම කුර රෝග වැළදිලා තියෙනවා නම් මුඛ රෝග වැළදිලා තියෙනවා නම් වනෝන්ද්‍යානයේ ඉන්න ගෝනා,මුවා විතරක් නෙමෙයි අලියාටත් රෝගය වැළදීමේ අවදානමක් තියෙනවා.මේ පිළිබඳව අදම වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමාත් පශුවෛද්‍ය අංශත් දැනුම්වත් කරන්න කටයුතු කරනවා.

ඒ වගේම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමෙන් හා පශු වෛද්‍ය ඒකක මට්ටමෙන් අපි ගව පට්ටි හිමියන්ව දැන්ම්වත් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා කඩිනමින් ම ගව පට්ටිවල මුඛ රෝග හරි කුර රෝග හරි තියෙනවා නම් ඒ සතුන් හඳුනාගෙන කඩිනමින් ප්‍රතිකාර කරන්න කියලා.

ඒ වගේම අපි ඉල්ලීමක් කරනවා ජාතික වනෝද්‍යානතුළ ට ගෘහාශ්‍රිත සතුන් ඇතුළත් කරන්න ඒපා කවුරුවත් ඒ සඳහා අනුබලයක් දෙන්න එපා.මේ වසංගත තත්ත්වය අපේ වනජීවී සම්පත විනාශ වීමට හේතු වෙන්න පුළුවන්.කුර සත්තුන්ගෙන් පැතිරෙන්න පුළුවන්.පරික්ෂණ සිදු කරන්න ඕන මෙය බෝ වෙන තත්ත්වයක් ද කියලා.කුර රෝග මුඛ රෝග නම් වන අලියාටත් බෝ වීමේ හැකියාවක් තියෙනවා.”

වනජීවී රක්ෂිතය තුළ මිය ගිය සතුන් පිළිබඳව පශු වෛද්‍ය අංශවලින් පරික්ෂණ සිදු කළ වහාම මියගිය සතුන් ගිනි දමා විනාශ කළ යුතු බවට සතුන් හිමියන්ට උපදෙස් දීමට ද මෙහි දී වන ජීවී නිලධාරින් ක්‍රියා කළ හ. පින්තුරවල දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories