අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන නිලධාරීන් 704 දෙනෙකුට අද(25) සිට නිසි අවසරයකින් තොරව විදේශගතවීම තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවට යොමු කළ නිවේදනය අපහැදිලි බැවින් ඒය නැවත පැහැදිලිව  ඒවන ලෙස ආගමන විගමන  දෙපාර්තමේන්තුව විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යවා තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත අද අලුයම සිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704 කුගේ නම් සඳහන් ලේඛනයක් යොමු කර ඉල්ලා තිබුණේ ඒහි නම් සඳහන් පුද්ගලයින් විදේශ ගත වීම වළක්වාලන ලෙසටය.

නමුත් රට යාම තහනම්  කිරීමට හේතු වු කරුණු හා ඒම නිවේදනය යොමු කළ අයගේ අත්සන අපහැදිලිභාවයකින් යුක්ත බවත් ඒහෙයින් නැවත වරක් ඒම නිවේදනය සකසා ඒවන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවීමට කටයුතු කළ බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක සහකාර පාලක බී.ජී.ජී.මිලින්ද මහතා අප වෙබ් අඩවියට ප්‍රකාශ කර සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතා ඊයේ දහවල් විදෙස්ගත වීමත් සමඟ මෙම නිවේදනය නිකුත් කර තිබේ.

කෙසේ නමුදු ඉකුත් සතියේදි නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සියලුම රජයේ නිලධාරීන්ගේ විදේස් ගතවීම් තහනම් කරනු ලැබුණි.

Similar Posts