පාන්පිටි සහ සිරුරට අහිතකර ඩයි වර්ග මුසුකොට ප්‍රමිතියෙන් තොර කහ කුඩු නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් මුහුණුපොත හරහා ප්‍රචාරණයක් ගෙනයමින් එම කහ කුඩු බෙදා හැරීම හා අලෙවි කිරීම සම්බන්ධයෙන් අධිකරණයේදී වරද පිළිගත් පුද්ගලයන් 5දෙනකුට බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා රුපියල් 100,000ක දඩ මුදලක් නියම කළේය.

අදාළ කහ කුඩු අලෙවි කළ බවට වරද පිළිගත් තල්දෙන, 10 කණුව ප්‍රදේශයේ වෙළෙඳසල් හිමියකු වන එම ලිපිනයේම පදිංචි 40 හැවිරිදි පුද්ගලයකුට රුපියල් 15,000ක්, කහකුඩු බෙදා හැරීම සිදු කළ පරණ මහියංගණය පාර, කරමැටිය, බදුලුඔය ලිපිනයේ පදිංචි 38 හැවිරිදි අයකුට රුපියල් 20,000ක්, දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිහිටි පෞද්ගලික සමාගමකට රුපියල් 20,000ක්, එම කහ කුඩු ගෙන්වා මුහුණු පොත හරහා ප්‍රවර්ධනය කරමින් බෙදා හැරීම සිදු කළ දඹුල්ල අනුරාධපුර පාරේ පිහිටි නිෂ්පාදන ආයතනයක නියෝජිතයකු වන 39 හැවිරිදි පුද්ගලයකුට රුපියල් 25,000ක් සහ අදාළ කහ කුඩු නිෂ්පාදනය කොට මුහුණු පොත හරහා ප්‍රවර්ධනය කරමින් බෙදාහරින ලද ගම්පහ, කටාන කලුවාරිප්පුව නැඟෙනහිර ප්‍රදේශයේ නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන යන මිනුවන්ගොඩ, යටියන ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයකුට රුපියල් 20,000ක් ද වශයෙන් මෙලෙස දඩ නියම කොට ඇත.

මීගහකිවුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ තල්දෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.ටී. සඳරුවන් මහතා විසින් එම බලප්‍රදේශයේ වෙළෙඳසල් පරීක්ෂාවකදී ආහාරයට නුසුදුසු යැයි සැක සහිත අදාළ කහ කුඩු සාම්පලයක් රජයේ රස පරීක්ෂක වෙත යොමුකොට ලබා ගත් වාර්තාවකට අනුව එම කහ කුඩුවල පාන් පිටි අන්තර්ගත බවත්, ඒවා දීර්ඝකාලීනව ආහාරයට ගැනීමෙන් ඇදුම රෝගය උග්‍ර වීම, ළමුන්ගේ අධි ක්‍රියාකාරීත්වය, සමේ දද හා කුෂ්ට ඇති වීම, අසාත්මිකතා ඇති වීම හා ස්නායුවල අතුරු ආබාධ ඇති කිරීම ආදියට හේතු විය හැකි Tartrazine (E102) හා Sunset yellow (E110) යන වර්ණක දෙක අන්තර්ගත බවත් අනාවරණය වීම මත ඉහත සැකකරුවන්ට එරෙහිව චෝදනා 18ක් යටතේ නඩු පවරා තිබේ. එසේම පස්වැනි විත්තිකරු විසින් 1980 අංක 26 දරන ආහාර පනතේ ප්‍රමිති නියෝග උල්ලංඝනය කරමින් දීර්ඝ කාලයක් තිස්සේ අදාළ මුහුණු පොත හරහා ලංකාව පුරා මෙම කහ කුඩු බෙදා හැරීමේ ජාවාරම සිදු කර ඇතැයි ද අනාවරණය වී තිබේ.

More Stories