හොරණ කොළඹ ප්‍රධාන බස් මාර්ගයේ පිලියන්දල, කැස්බෑව 14 කනුව ප්‍රදේශයේදී යතුරුපැදියක් හා ජීප් රථයක්  මුහුණට මුහුණ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරු පැදිකරු මියගිය බව පිළියන්දල පොලිසිය පැවසීය.
අනතුරින් මියගොස් ඇත්තේ පිළියන්දල හොන්නන්තර ප්‍රදේශයේ පදිංචිව සිටි  ලින්ටන් ජයකොඩි (68) වියේ පසුවන පුද්ගලයෙකි.
හොරණ  දෙස සිට  කැස්බෑව දෙසට පැමිණෙමින් සිටි යතුරුපැදිකරු 14 කණුව ප්‍රදේශයේදී  එකවරම යතුරුපැදිය කුඩමාදුව දෙසට හැරවීමේදී  කැස්බෑව දෙස සිට හොරණ දෙසට ධාවනය වෙමින්  තිබූ ජීප් රථයේ ගැටී මෙම අනතුර සිදුව  ඇතැයිද පොලිසිය පැවසීය.
යතුරුපැදිය ජීප් රථයේ  ගැටීමත්  සමඟම මීටර කීපයක් ඉදිරියට ඇදී ගොස් ඇති අතර  බරපතළ තුවාල ලද පැදිකරු ප්‍රදේශවාසීන් විසින් 1990 ගිලන් රථයකින් පිලියන්දල  දිසා රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා රැගෙන ගිය බවත් පොලීසිය පැවසීය. තුවාලකරු රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී  මිය ගිය බවද පිලියන්දල දිසා රෝහලේ ප්‍රකාශකයෙකු  පැවැසීය.
ජීප් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පැවැසීය.
පිලියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක විජේසූරිය පොලිස් සැරයන් 40619 අතපත්තු කොස්තාපල්වරුන් වන 93671 සනත් 73182 විජිත 93724 මධරසිංහ යන නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories