govi

පොලොන්නරුව දිස්ත්‍රික්කය ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්ති සේවාව විධිමත්ව පවත්වාගෙන ගිය කෘෂිකර්ම උපදේශකවරුන් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා තමන්ගේ හිතු මතේට මාරු කරමින් සිටින බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය කෘෂිකර්ම උපදේශකවරුන් සංඛ්‍යාව 44ක් වුවත් සේවයේ යෙදී සිටින්නේ 23 දෙනෙකු බවත් එම නිලධාරින් ද මේ වන විට විවිධ ස්ථානවලට මාරු කරමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධාන එකමුතුව පවසයි.

පොලොන්නරුව දිස්ත්‍රික් ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ඩබ්.ජගත් අරුණකීර්ති මහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසීය. එහි දී වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම මෙසේ ද කීය.

” ගොවියාගේ සැබෑ අවශ්‍යතාවන් දන්න කෘෂිකර්ම උපදේශකවරුන් නිතරම ක්ෂේත්‍රයේ ගොවියා එක්ක කටයුතු කරන පිරිස.නමුත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒක දන්නේ නෑ.ඔහු සීතල කාමරවල ඉදගෙන තීන්දු තීරණ ගන්නේ.පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන මහා වාරි ව්‍යාපාර 04ක් තියෙනවා.අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් වගා කෙරෙනවා.නමුත් කෘෂිකර්ම උපදේශකවරුන් ඉන්නේ 23 දෙනයි.

එක්කෙනෙකුට අක්කර 5000ක් 6000ක් විතර බලන්න වෙලා.එහෙම තියෙද්දි ඉන්න කෘෂිකර්ම උපදේශකවරුන් මාරු කරනවා.පොලොන්නරුව නව නගරය ගොවිජනසේවා බල ප්‍රදේශයේ ස්ථාන භාර කෘෂිකර්ම උපදේශකවරිය බීජ ගොවිපලට මාරු කරලා.අපි දන්නවා බීජ ගොවිපලේ ලොකු වැඩක් කරන්න නෑ.ඒ වගේ තවත් 02ක් මාරු කරලා.ඒ නිලධාරින් ඉල්ලලා මාරු වෙලා තියෙනවා නම් අපිට කරන්න දෙයක් නෑ.

නමුත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා දැන ගන්න ඕන එහෙනම් ඒ සඳහා මෙවැනි ම පල පුරුදු කෘෂිකර්ම උපදේශකවරුන් එවන්න.දැන ගන්න ලැබිලා තියෙන තොරතුරු අනුව එහෙම කිසි කෙනෙක් එන්නේ නෑ.ඒ නිසා අපි ගොවීන් විදිහර මේ කෘෂිකර්ම ව්‍යාප්ති සේවය දිය කර හරින්න කටයුතු කරන එකට දැඩි විරෝධය පළ කරනවා.කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා විශ්‍රාම යන්න ඉන්නේ.කෘෂිකර්ම ව්‍යාප්ති සේවයත් විනාශ කරලා යන්නයි මේ හදන්නේ.

ඉතාම හොඳින් කේෂ්ත්‍ර රාජකාරි කරන කෘෂිකර්ම උපදේශකවරුන් වෙනත් ස්ථානවලට මාරු කරන්න එපා කියලා අපි දැඩිව කියනවා.මේ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා අවශ්‍ය පුරප්පාඩු පුරවන්න කටයුතු කරන්නේ නැතුව ස්ථානමාරුවීම්වලට මුල් තැන දීලා කටයුතු කරන්නේ කාගේ වුවමනාවකට ද?

අපි අහන්න කැමතියි විශ්‍රාම යන්න කලින් පොලොන්නරුව ඇතුළු කෘෂිකාර්මික දිස්ත්‍රික්කවල කෘෂි ව්‍යාප්තිසේවය වලපල්ලට යවන්න ද මේ හදන්නේ කියලා.” යැයි ද ඒ මහතා පැවසීය.

මේ පිළිබඳව අපි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.එම්.වීරකෝන් මහතාගෙන් විමසීමක් කළෙමු.එහි දී ඒ මහතා මෙසේ කීය.

“කෘෂිකරම උපදේශකවරුන් විතරක් නෙමෙයි කෘෂිකර්ම සේවයේ නිලධාරින්ගෙත් හිගයක් තියෙනවා.ඒ නිලධාරි හිගය 600ක් විතර. වසර අටකින් බඳවා ගෙන නෑ.කෘෂිකරම උපදේශක්වරුන් 300ක් විතර හිගයි.නමුත් අපි අවුරුදු ගණනාවක ඉඳලා මාරු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරලා තිබුණත් කරන්න බැරි වුණා.

මෙවර එම ස්ථාන මාරුවීම් සිදු කරනවා.අත්‍යවශ්‍ය නිලධාරින් මාරු කරන්නේ නෑ.වැඩි කාලයක් එකම ස්ථානයක සේවය කළ අය තමයි මාරු කරන්නේ ” යැයි පැවසීය.

මේ අතර මේ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ හිගය පිළිබඳව ඉකුත් පොලොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ් කමි‍ටු ‍රැස්වීමේ දී උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතා පැවසුවේ උතුරු මැද පළාතටම ක්‍රිෂිකර්ම උපදේශකවරුන් සිටින්නේ 29 දෙනෙකු පමණක් බවයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories