ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව අගවමින් වසරක පමණ කාලයක සිට කැණීම් කරමින් නිධානයක් ගැනීමට සූදානම්වූ කපුවෙකු හා තවත් පුද්ගලයෙකු සමග නිධන් හෑරීමට යොදාගත් උපකරණ ද සමග පසු ගිය දා අත් අඩංගුවට ගත් බව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ නිළධාරීන් කියති.

වැලිපැන්න පොලිස් වසමෙි ලූල් බද්දුව ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරන බවට අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ අණ දෙන නිළධාරී එච්. ඩබ්ලිව්. එන්. විජේරත්න මහතාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකර සැකකරුවන් දෙදෙනා සමග වතුර මෝටරයක්,ජෙලට් නයිට් කූරු, වෙඩිබෙහෙත්, ගල් විදින උපකරණයක්, බෝර කටු, ඇමෝනියා, ජල නළ, සමග පුද පූජා සිදුකළ මල් බුලත් තටු, ඇතුළු දුව්‍ය අත් අඩංගුවට ගෙන ඇත.

අක්කර පහක පමණ විශාල ඉඩමක පිහිටි නිවසක් පිටුපස මෙසේ කැණීම් සිදුකර නිධන් ගැනීමට සූදානමින් මල්, පහන්, හා තොවිල් තටුවක් තබා පූජා පවත්වමින් සිටියදී සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත. පූජා පවත්මින් ආගමික වතාවත් කළ කපුවා හෝමාගම ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි අයෙකු වන අතර අනෙත් සැකකරු වැලිපැන්න, ලූල්බද්දුව ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි අයෙකු බවද වැටලීම සිදුකළ නිළධාරීන් කියති.

මෙම විශාල ඉඩමෙි ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව ප්‍රකාශ කරමින් මීට වසරකට පමණ පෙර සිට වරින් වර කැණීම් සිදු කර ඇති අතර වැටලීම සිදුකරන දිනයේ බිළි පූජාවක් සිදුකර නිධානය ගැනීමට සූදානමින් සිට ඇති බවද පොලීසිය කියයි.

විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිළධාරී, නියෝජ්‍ය පොලිස්පති, වරුණ ජයසුන්දර මහතා, කලාප අණ දෙන නිළධාරී ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අතුල රත්නායක මහතා, කළුතර ප්‍රාදේශීය අණ දෙන නිළධාරී පොලිස් අධිකාරී අසිත රණ සූරිය යන මහත්වරුන්ගේ උපදෙස් අනුව අලුත්ගම විශේෂ කාර්ය බලකා කදවුරේ දෙවන අණ දෙන කිළධාරී පොලිස් පරීක්ෂක පී.පී.සී. ප්‍රියන්ත කුමාර, පොලිස් කොස්තාපල් වරුන් වන දර්ශන, තිලකරත්න, සිල්වා, රුක්ෂාන් සහ සමීර ඇතුළු නිළධාරීන් පිරිසක් මෙමවැටලීමට සහභාගී විය.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories