weniwalgata

කොරෝනා වසංගතය නිසා නිළධාරීන් සීමිතව රාජකාරින්වල නිරත වන අතරතුර රක්ෂිත වනාන්තරවලින් කපා කොළඹට රැගෙන යාමට ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වෙනි වැල් ගැට තොගයක්, වෙනිවැල් ගැට ප්‍රවාහණය කල ත්‍රී රෝද රථයක් සමග සැකකරුවන් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉංගිරිය අඩවි වන නිළධාරි කාර්යාලය කියයි.

ඉංගිරිය අඩවි වන නිළධාරීන්ට ලද තොරතුරකට අනුව හොරණ බැල්ලපිටිය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් බලපත්‍ර නැතිව ප්‍රවාහණය කරමින් තිබූ වෙනිවැල් ගැට කිලෝ 160 ක් පමණ සමග පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්නකිරීමෙන් පසු වෙනිවැල් ගැට මිළදීගන්නා ස්ථානයක් පිළිබද අනාවරණය කරගන තිබෙි.ඒ අනුව පාදුක්ක පාර ,හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ ස්ථානයක බලපත්‍ර නැතිව එක් රැස් කරගන තිබූ වෙනිවැල් ගැට කිලෝ 700 කට අධික ප්‍රමාණයක් සමග ඒවා මිළදීගෙන එක් රැස්කළ පුද්ගලයාද අත් අඩංගුවට ගෙන ඇත.

ඉංගිරිය සහ අගලවත්ත අඩවි වන බල ප්‍රදේශවලට අයත් බුලත්සංහල, කලවාන, මෝල්කාව, පාලින්ද නුවර ඇතුළු ප්‍රදේශවල රක්ෂිත වනාන්තරවලින් හොරෙන් කපා ඇතැයි හෙළිව තිබේ.ආවේනික,හා වදවීයාමේ තර්ජනයට ලක්ව අැති කහ වැල් හෙවත් වෙනිවැල් ගැට මෙම ප්‍රදේශවල රක්ෂිතවලින්ද වදවීයාමට මෙම ජාවාරම හේතුවී ඇතැයි අඩවි වන නිළධාරීන් කියති.

රක්ෂිත තුළට ඇතුළුවු පුද්ගලයින් විශාල ප්‍රමාණයේ වෙනි වැල් ශාක කපා බිම් මට්ටමෙි කොටස පමණක් කපාගන යන අතර උස ගස් වල රැදෙන විශාල ප්‍රමාණයක් විනාශවන බවද අඩවි වන නිළධාරීන් කියති.

මෙම වැටලීමේදී සැක කරුවන් දෙදෙනෙකු පලා ගොස් ඇති අතර එම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ඉංගිරිය අඩවි වන නිළධාරීන් කියති. කොරෝනා වසංගතය නිසා පුද්ගලයින් බියෙන් තොරව රක්ෂිතවලට රිංගා මෙසේ වෙනිවැල් ගැට කපන බවද හෙළිව ඇත.

ඉංගිරිය අඩවි වන නිළධාරී ලක්ෂමන් රත්නවීර මහතාගේ මෙහෙයවීමෙන් බීට්ටු වන නිළධාරීන් වන සුනිල් විජේ තිලක, ඕ,කේ,ගුණසේකර, ජි,ඩබ්ලිව්,එස්,සරත් කුමාර, හා වන ක්ෂේත්‍ර සහකාර නිළධාරීන් වන ලලිත් රූපරත්න, අබේසිංහ, ඇතුළු නිළධාරීන් පිරිසක් මෙම වැටලීම සිදුකලහ.

සෝමරත්න පොද්දෙණිය – මීගහතැන්න

More Stories