weather

දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී තිබෙනවා.

මෙය වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දෙසට ගමන් කරමින්, අද (15) දින වනවිට උතුරු අන්දමන් මුහුදේ පීඩන අවපාතයක් බවට පත්විය හැකියි.

දිවයිනට නැගෙනහිරින් වන ගැඹුරු මුහුද ආශ්‍රිතව ක්‍රියා කරන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සහ ඉදිරි කාලගුණ නිවේදන කෙරෙහි අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින්නේ.

එමෙන්ම, කන්කසන්තුරය සිට මන්නාරම, පුත්තලම කොළඹ හරහා ගාල්ල දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර, දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

කන්කසන්තුරය සිට මන්නාරම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි අතර, සෙසු මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකියි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළුවීමට ඉඩකඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනයේ කරන්නේ.

More Stories