මොරගොඩ පොලිස්වසමේ ඉපැරණි සේනපුර වෙල්යායේ නිදන් සෙවු බව කියන පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සදහා මොරගොඩ පොලිසිය හා අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.
මොරගොඩ මීගල්ලෑව ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පිහිටි ඉපැරණි සේනපුර වෙල්යායේ පිහිටි ගල්තලාවක් ආසන්නයේ කිසියම් පිරිසක් අක්රමිකවත් කැනීම සිදුකර තිබෙනා බව පවසන පොලිසිය අදාල ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ ඉරිගු හේන්යායක් පවත්වාගෙන යන පිරිසක් නිදන් සෙවීම සිදුකරන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
කිසියම් පිරිසක් විසින් පුරාවිද්‍යා සාධක සහිත ස්ථානයේ කැනීමක් සිදුකර ඇති බව පවසමින් තුලාන බාර ග්‍රාමනිලධාරිවරයා මොරගොඩ පොලිස්ථානයට කළ පැමිණිල්ලට අනුව පොලිසිය අදාල ස්ථානය සොයා ගෙන තිබේ.එම ස්ථානයේ අඩි 17ක ගැඹුර සහිත අඩි තුනක් පළල හා අඩි නමයක් දිග කැනීම සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ඈත අතීතයට දිවෙන සේනපුර වෙල්යායේ ගල්තලාවේ කිසියම් වස්තුවක් ඇති බවට සැකකරනා පිරිසක් එම ස්ථානයේ කැනීම් සිදුකරන්නට ඇති බවත් විටින් විට හොර රහසේ කැනීම සිදුකරමින් වස්තුව සොයන්නට ඇති බවටත් පොලිසිය සැකපහල කරයි.
මෙම ස්ථානයට මදක් ඈතින් පිහිටි බඩ ඉරිගු හේනේ සිටින ගොවියන් පොලිස්ථානයට කැදවා ප්‍රකාශ ලබාගන්නා බව පොලිසිය පවසයි.
කැනීම සිදුකර තිබෙන වෙල්යායේ කිසිදු පුද්ගලයෙකු සැරිසරා හෝ ලැගුම් ගෙන සිටි බවක් දක්නට නොලැබෙන බව පවසන පොලිසිය සැකකරුවන් අනාවරණය කර ගැනීමට පරික්ෂණ සිදුකරති.
අනුරාධපුර කොට්ඨාශ පුරාවිද්‍යා ආරක්ෂන විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.කේ ඇල්ලේපොල පොලිස් සැරයන් සෙනරත් වීරකෝන් 36446 හා මොරගොඩ පොලිසියේ නිලධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදුකරති.
අනුරාධපුර – මහේෂ් විජේසුරිය