හෙරොයින් මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්වි රක්ෂිත බන්ධනාගාර ගතව සිටිනා තරුණයෙකු මුදාහැරිමට අවශ්‍ය කටයුතු සිදුකළ බව හැකි යැයි කියමින් සැකකරුගේ මවගෙන් රුපියල් ලක්ෂ එකහාමාරක අල්ලස් මුදලක් ලබාගත් රාජ්‍ය සේවකයෙකු නොවන වයස්ගත පුද්ගලයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන පොලිස් ඒකකය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.

රාජාංගනය යාය 11 ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමේ පොලිස් ඒකකයට සිදුකර තිබු පැමිණිල්ලකට අනුව නොච්චියාගම නගරයේදි 63 හැවරදි පුද්ගලයා අල්ලස් කොමිෂම අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරු විසින් බන්ධනාගාර ගතව සිටින තරුණයාව මුදාහැරීමට නම් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබාදුනහොත් කටයුත්ත සිදුකළ හැකි බව කාන්තාවට පවසා තිබේ.

දැනට ඔහු රදවා සිටින බන්ධනාගාරයේ නිලධාරින්ට හා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයේ සේවකයන් කිහිප දෙනෙකුට මුදල් ලබාදිමට අවශ්‍ය බැවින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදල අවශ්‍ය බව සැකකරු කාන්තාවට පවසා තිබේ.

ඒ සම්බන්ධයෙන් කාන්තාව අල්ලස් ඒකකයට පැමිණිලිකර තිබු අතර සැකකරු රජයේ සේවකයෙකු බවට සැකකරමින් නිලධාරින් වැටලිම සිදුකර තිබුණි.

සැකකරු කාන්තාව සමග ඇති කරගත් එකගතාවයට අනුව මුදල් ලබාගැනිමේ කටයුත්ත සදහා නොච්චියාගම නගරයට පැමිණ තිබු අතර සැලසුම්කර තිබු ආකාරයට නොච්චියාගම නගරයෙදි මුදල් ලබාගනින්දි වැටලිම සිදුකර තිබුණි.

එහෙත් අත්අඩංගුවට ගත් සැකකරු රජයේ සේවකයෙකු හෝ රජයේ විශ්‍රාමිකයෙකු නොවන බව අල්ලස් නිලධාරින් අනාවරණය කරගෙන තිබු අතර ඔහු අල්ලස් ලබාගැනිමේ චෝදනාවට සැකපිට අත්අඩංගුවට ගෙන තිබුණි.අත්අඩංගුවටගත් නොච්චියාගම කටුපත්තෑව ලිපිනයේ පදිංචි සැකකරු ඊයේ (28දා) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

අනුරාධපුර – මහේෂ් විජේසුරිය

More Stories