විදුලිබල  මණ්ඩලය විසින් අනාරක්ෂිතව නිවසකට ඇඳ තිබූ විදුලි රැහැනකින් විදුලි සර වැදී කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ දෙදරු  පියෙකු  මිය ගොස් තිබේ.මිය ගොස් ඇත්තේ අඟම්පොඩිගේ විජේතුංග නම් අයෙකි.

විදුලි සර වැදී මිය ගිය දෙදරු පියා රාත්‍රී නිවසේ නවතා තිබූ කුඩා ලොරි රථයක් පසුපසට ගැනීමේදී නිවසට ඇඳ තිබූ ප්‍රධාන විදුලි රැහැනේ ලොරි රථය පැටලී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

අනතුර සිදූ වූ වහාම නිවැසියන් විසින් මිය ගිය අය කටුවන රෝහලට රැගෙන ගොස් තිබේ.ඉන් අනතුරුව ඔහුව ඇඹිලිපිටිය දිස්ත්‍රික් මූලික රෝහලට රැගෙන ගොස් තිබේ. ඇඹිලිපිටිය රෝහලට රැගෙන යන විටත් අනතුරට පත්වූ අය මිය ගොස් තිබූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.

විදුලි සර වැදීමෙන් මිය ගිය දෙදරු පියාගේ නිවැසියන් පවසන්නේ විදුලිබල මණ්ඩලයේ මිද්දෙනිය නඩත්තු  කාර්යාලයේ සේවකයින් ගේ නොසැලකිල්ල මත මෙම මරණය සිදු වූ බවයි.

මිය ගිය විජේතුංගේ නිවසට විදුලිය ලබා දී තිබූ විදුලි රැහැන සම්බන්ධ කොට තිබූ ආධාරක ලී කණුව දිරා පත්වී වසරකට වැඩි කාලයක් පැවති බවත් ඒ බව විදුලිබල මණ්ඩලයට දුරකථන ඔස්සේ කිහිප වරක්ම දැන් වූ බවත් නිවැසියෝ පවසති.එහෙත් වසරකට වැඩි කාලයක් යනතුරුත් නව විදුලි කණුවක් සිටුවීමට විදුලිබල මණ්ඩලයේ මිද්දෙනිය නඩත්තු කාර්යාලය කටයුතු නොකළ බවද නිවැසියෝ කියති.

මිය ගිය මගේ පුතා කිහිප වරක්ම විදුලිබල මණ්ඩලයට මේ බව දැන්වූවා. ඔවුන් වරක් නිවසට පැමිණ අසල තිබූ ගස්වල විදිලි රැහැන ගැට ගසා ගොස් තිබෙනවා.කෙසෙල් ගහකත් විදුලි රැහැන ගැට ගසා ගියා.නිවසට විදුලිය දෙන විදිලි රැහැන තිබුණේ ඉතා පහතින් . ඒ නිසයි ලොරි රථයේ විදුලි රැහැන පැටලී මේ අනතුරු සිදුව තිබෙන්නේ . විදුලි බල මණ්ඩලයේ නොසැලකිල්ල නිසා දරුවන් දෙදෙනෙකුට පියෙක් අහිමි වුණා යැයි මිය ගිය විජේතුංගගේ  පියා වන අගමපොඩි ගේ සියදොරිස් අප සමඟ පැවසීය.

විදුලි රැහැනේ පැටලී විදුලි සර වැදී නිවසේ හිමිකරු මිය යාමෙන් අනතුරුව 16 දින විදුලි බල මණ්ඩලයේ සේවකයින් පැමිණ දිරා ගිය විදුලි කණුව වෙනුවට නව කණුවක් සිටුවා  විදුලි රැහැනක් ඇද නිවසට විදුලිය ලබා දුන් බව නිවැසියෝ පවසති.දිරා ගිය විදුලි කණුව සමඟ පළුදු වී තිබූ විදුලි රැහැනද විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් රැගෙන ගිය බවද නිවැසියෝ පවසති.

මිය ගිය විජේතුංගගේ  අවසන් කටයුතු 18 දින සිදු කිරීමට නියමිතය.සිද්ධිය සම්බන්ධයෙන් කටුවන පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට තිබේ.

චන්ද්‍රසේන ගමගේ

More Stories