Electricity-Board

අනුරාධපුර නගර මධ්‍යයේ පිහිටි වීරසේකරාරාම මාවතේ ඇති ලංකා විදුලි බලමණ්ඩලයේ දේපලක් වන ඉඩමක් අනුරාධපුර මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියක විසින් විකුණා ඇති බවට අනාවරණය වීමත් සමග ඒ පිළිබදව පරික්ෂණයක් ආරම්භ කර තිබෙනා බව විදුලි බලමණ්ඩලයේ උසස් නිලධාරියෙකු පැවසුවේය.

දශක ගණනාවක් තිස්සේ විදුලි බල මණ්ඩලය භාවිතා කළ හිස් ඉඩම නාගරික මන්ත්‍රීවරිය විසින් රුපියල් ලක්ෂ අටක පමණ මුදලකට රාජ්‍ය සේවකයෙකුට අලවිකර තිබෙනා බව විදුලි බල මණ්ඩලය අනාවරණය කරගෙන තිබේ.එය මිලදිගත් පුද්ගලයා කවුරුන්ද යන්න අනාවරණය කිරීමට විදුලි බල මණ්ඩලය පරික්ෂණයක්ද අරඹා තිබේ.

අනුරාධපුර වීරසේකරාරාම මාවතේ (සත්‍යාවාදි පාර) පිහිටි පර් චස් හතරයි දශම දෙකක හිස් ඉඩම මන්ත්‍රීවරිය විසින් විකුණා ඇති බවට තොරතුරු අනාවරණය වීමත් සමග විදුලි බල මණ්ඩලයේ නිලධාරින් සිය රාජකාරි අරඹා තිබෙන අතර අසල්වැසි පදිංචිකරුවන් විශාල පිරිසක්ද ඊට විරෝධය පලකරති.

මෙම ඉඩම් කොටස ආසන්නයේ විදුලි බල මණ්ඩල සේවකයන්ගේ නිල නිවාස කිහිපයක් පිහිටා තිබෙන අතර ඊට යාබදව ඇති ළිදක් සහිත හිස් ඉඩම මන්ත්‍රීවරිය අත්පත්කර ගෙන විකුණා තිබෙන බව අසල්වැසියන් කියති.එම ඉඩම දශක කිහිපයක්ම විදුලි බල මණ්ඩලයේ අබිලි ද්‍රව්‍ය වයර් ඇතුළු උපකරන ගෙනවිත් දමා තිබු බවත් මන්ත්‍රීවරියට එහි හිමිකමක් නොමැති බවත් ඔවුන් කීහ.

ඉඩම මිලදි ගත් බවට සැකකරනා පුද්ගලයා ඉඩම හොර රහසේ ශුද්ධ පවිත්‍ර කිරීමත් සමග අසල්වාසින් ඒ පිළිබදව විදුලි බල මණ්ඩලයට දැන්වීමෙන් සිද්ධිය අනාවරණයවූ බව විදුලි බල මණ්ඩලය පැවසුවේය.ඒ අනුව අනුරාධපුර ප්‍රාදේශිය විදුලි ඉංජිනේරුවරයාට ගැටළුව පිළිබදව සෙසු නිලධාරින් දන්වා තිබෙන අතර ඔහු විසින් ඒ පිළිබදව අනුරාධපුර මහ නගර සභාවේ නාගාරික කොමසාරිස්වරයාට දන්වා තිබෙනා බව අනාවරණය විය.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු සමුද්‍ර ජයවර් ධන මහතාගෙන් විමසීමට ඇමතුම් ලබා ගත්තත් ඔහුගේ දුරකථන අංකය සම්බන්ධ කිරීමට නොහැකි බව දුරකථන ප්‍රතිචාරය විය.චෝදනාවට ලක්ව සිටින නාගරික මන්ත්‍රීවරියගෙන් ඒ පිළිබදව විමසීමට ඇගේ ජංගම දුරකථන අංකයට ඇමතුම් ලබාගත්තත් ඇයත් ඊට ප්‍රතිචාර නොදැක්වීය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories