වැලිකන්ද කාසන් වැවේ සිට ඕමාඩියා මඩු දක්වා දියවර ගෙනයන ඉසඩ් ඩී ඇළට අද (03) අලුයම වැ‍ටුණු අලියෙකු ගොඩ ගැනීමේ මෙහෙයුම පැය 7කට පසු සාර්ථක කර ගත් බව පොලොන්නරුව වනජීවී කාර්යාලය පවසයි.

එහි ප්‍රකාශකයෙකු පැවසුවේඅද (03) අලුයම 3.00 ට පමණ වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ දී මෙම අලියා ඉසඩ් ඩී ඇලට වැටී ගොඩ ඒමට නොහැකිව සිට ඇති බවට ප්‍රදේශවාසින් ලබා දුන් තොරතුරකට අනුව වැලිකන්ද බීට්‍ටු කාර්යාලයේ හා පොලොන්නරුව වනජීවී කාර්යාලයේ නිලධාරින් එක්ව අලියා ගොඩ ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇත.

අද (03) දහවල් 11.00 ට පමණ අලියා ඉන් ගොඩ ගැනීමට නිලධාරින් සමත් වූහ.වයස අවුරුදු 35ක් පමණ වන මෙම අලියා පැය 07ක් තිස්සේ ඉසඩ් ඩී ඇලෙහි ඉඅහළට පහළට යමින් ගොඩ ඒමට නොහැකිව පීඩා විද තිබේ.

වන ජීවී නිලධාරින් ප්‍රදේශවාසින් හා එක්ව කඹවලින් ඉනිමන් තනා අලියා ගොඩ ගැනීමේ මෙහෙයුම දියත් කළ අතර අසේලපුර සයිබන් එක අසල දී අලියාට ගොඩ ඒමට තනා තිබූ ඉනිමගෙන් අගොඩ ආවේ ය.

පසුව අලිවෙඩි දමා අලියා වනයට පළවා හැරීමට වන ජීවී නිලධාරින් ක්‍රියා කළහ.පින්තූරවල දැක්වෙන්නේ අලියා මුදා ගැනීමේ මෙහෙයුමේ අවස්ථා කිහිපයකි.

ඊෂා – මුදියන්සේ පොලොන්නරුව

More Stories