law
2009 වර්ෂයේ දී අතුරුගිරිය පොලිස් වසමේ හෝමාගම හබරකඩ ප්‍රදේශයේ දී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදී එකම පවුලේ පස් දෙනකුට මරණ දණ්ඩනය නියම කරන බව හෝමාගම අධිකරණයේ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.
ප්‍රන්සිස් රත්නසේකර්ලාගේ ඉසංග සමීර සිල්වා නැමැති තරුණයෙකුට 2009 වර්ෂයේ ඔක්තෝම්බර් මස 09 වන දින  පහර දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දීර්ඝ කාලීනව පැවති නඩු විභාගයකින් පසුව සැකකරුවන් මෙම ඝාතනයට සම්බන්ධ බව සාධාරණ සැකයකින් යුක්තව වරදකරුවන් බවට ඔප්පු වීමෙන් පසු මෙම මරණ දඬුවම ලබාදී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පැවසීය.
මෙලෙස මරණ දඬුවම හිමි වූයේ හෝමාගම, හබරකඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන කෝරළගේ අරුණ දර්ශන ප්‍රියංකර (නොහොත් රාජු), කෝරළගේ කරුණාරත්න (නොහොත් සුදා ), කෝරළගේ සුසිල්, කෝරළගේ නලින් රංජිත්, කොරලගේ කුසුම් නවරත්න, අජිත් කුමාර ජයසිංහ නැමැති පිරිමි පුද්ගලයින් පස්දෙනෙකුටය.
 මෙම නඩුවේ සැකකරුවන් හය දෙනෙකු සිටියද කෝරළේගේ කරුණාරත්න (නොහොත් සුදා) නැමැත්තා මිය ගොස් ඇති බව අද දින උසාවියෙදි සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දැන්වීමෙන් අනතුරුව වැරදිකරුවන් වූ පුද්ගලයින් පස් දෙනාට මෙම දඬුවම හිමිවී ඇත.
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සී. අමිතිරිගල මහතා පෙනී සිටි අතර අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රජයේ නීතිඥ ඉන්දිකා තුමුම්ටිය මහත්මිය පෙනී සිටියේය.
අතුරුගිරිය පොලිසිය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories