flower

මේ දිනවල රූපවාහිනී චැනල් (පොදුවේ ගත් කල මේවා ‘රූපවාහිනී සේවා’ ලෙස හැඳින්වීම කෙසේවත් යෝග්‍ය නොවේ.) මගින් විකාශය කරන ප්‍රවෘත්ති දෙස විමසුම් සහගතව බලන්නකුට ඉතා පැහැදිලිව පෙනෙන එක්තරා විශේෂත්වයක් තිබේ.

එනම් ඒවා මගින් අදහස් පළ කරන්නවුන් අතරින් භික්ෂුන් ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ නැංවෙමින් තිබෙන බවකි. මා එදිනෙදා ජීවිතයේ දී රූපවාහිනී මාධ්‍ය ඇසුරු නොකරන බැවින් මේ දිනවල රූපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශ මගින් විවිධ දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී කරුණු මුල් කොට අදහස් පළ කරන්නවුන් අතුරින් භික්ෂුන් ගේ ප්‍රතිශතය කොපමණ විය හැකි දැයි රූපවාහිනී ප්‍රවෘත්ති නරඹන සමාජයේ විවිධ තරාතිරම් වලට අයත් දස දෙනකු ගෙන් පසුගිය සති කිහිපය තුළ විමසීමි.

එවිට ඔවුන් දුන් පිළිතුරු පොදුවේ ගණනය කළ විට රූපවාහිනී ප්‍රවෘත්ති මගින් අදහස් පළ කරන ප්‍රභූ, විද්වත් ආදී වශයෙන් සම්මත ප්‍රජා ඒකක අතුරින් භික්ෂු ප්‍රතිශතය සියයට දහයක් පහළොවක් අතර අගයක් ගනී. ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය මිලියන විසි දෙකකට ඉතා ආසන්නව පවතී. නමුදු අද වන විට අප රටේ සමස්ත භික්ෂුන් ගේ සංඛ්‍යාව හතලිස් දහසකට වැඩි නොවේ.

එය සමස්ත ශ්‍රී ලාංකේය ජනගහනයෙන් සියයට දශම එකයි අටයි දෙකක් වැනි ඉතා සුළු ප්‍රතිශතයකි. එවන් තත්වයක් යටතේ අප රටේ භික්ෂුන් දේශපාලන, සමාජ, ආර්ථික, සංස්කෘතික ආදී අනේක විධ සංසිද්ධීන් හා අර්බුද හමුවේ සමාජ කරලියේ වැජඹෙන ප්‍රධානතම භූමිකාවක් බවට පත් වූයේ කෙසේද ? මෙය මෙතෙක් බොහෝ දෙනාගේ අවධානයට යොමු නොවූ; නමුදු කාලීන වශයෙන් ඉතා වැදගත් සංසිද්ධියකි.

බුදු දහම ශ්‍රී ලංකාවේ රාජ්‍යාගම බවට පත්වීමෙන් අනතුරුව ආගම අතින් ද දේශපාලනමය අතින් හා සමාජමය අතින් රාජකාරී රැසක් කරට ගත් පූජක සංවිධානයක් බවට පත් වීමට භික්ෂු-න්ට සිදු වූ බව ආචාර්ය වල්පොල රාහුල හිමියෝ තමන් වහන්සේ විසින් රචිත ‘ලංකාවේ බුදු සමයෙහි ඉතිහාසය’ නම් මාහැඟි කෘතිය මගින් පෙන්වා දෙති.

වැඩවසම්වාදී රාජාණ්ඩු යුගයේ ඇරඹුණු භික්ෂුව තම සැබෑ උරුමය වූ ශ්‍රමණ බවින් ඉක්ම පූජක වෙස් ගැනීමත් බුදුන් විසින් මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කරන ලද වෛදික සම්ප්‍රදායේ එන පුරෝහිත බමුණන් සේ රජුන් සමීපයේ ජීවත් වෙමින් ඔවුනට රාජ්‍ය පාලනයේ පවා උපදෙස් දීමත් අප රට තුළ ස්ථාපිත විය.

නවීන ලෝකයේ සියළු දේශපාලන ක්‍රම හුදෙක් ලෞකිකත්වය මත පදනම් වන සමාජ, ආර්ථික ක්‍රියාවලියක් බව පිළිගැනෙන අතරේ අප රටේ වැඩවසම්වාදී අදහස් දරන ඇතැම් දේශපාලනඥයෝ තවමත් මහජනතාව අමතන අතරේ පවා තමන් අවට වැඩ සිටින භික්ෂුන්ට ‘හාමුදුරුවනේ’ යනුවෙන් අමතමින් ඔවුන් ලවා තම ප්‍රකාශ වලට අලගු තබා ගැනීමට දරන උත්සාහය කිසිවකුටත් රහසක් නොවේ. මෙකී සියළු තත්වයන් බෞද්ධ ධර්ම විනයට අනුව විමසා බැලීමේ දී ඉතා පැහැදිලි වන කරුණු කිහිපයක් තිබේ.

එනම් වර්තමාන සමාජයේ දක්නට ලැබෙන පොදු භික්ෂු ප්‍රතිරූපය බුදුන් අපේක්‍ෂා කළ අල්පේච්ඡතා ගුණයෙන් යුතු සැබෑ ශ්‍රමණ ප්‍රතිරූපයට වඩා ඉඳුරාම වෙනස් හිතුවක්කාර, වල්මත් ස්වරූපයක් පළ කරන බවකි.

සමාජයීය වශයෙන් ගිහ-ි-පැවිදි යන්න යුගල පදයක් වශයෙන් යෙදුණ ද බෞද්ධ ධර්ම විනය අනුව භික්ෂුව ගිහියන්ට වඩා අතිශයින් වෙනස් දිවි පෙවෙතක් ගත කළ යුත්තෙකි. ඒ වෙනස්කම එක්තරා අන්දමකින් කිව හොත් දෙලොවක් අතර පවත්නා වෙනසකි.

ධනය ආදී සම්පත් බහුලත්වය හෙවත් ‘ඇති කම’ ගිහියා සතු සැපත වන අතර ‘නැතිකම’ හෙවත් නිර්ධන වීම භික්ෂුවගේ සැපයයි. නිවාස (මන්දිර) ආදියේ ජීවත් වීම ගිහියා සතු සැපත වන අතර වනයේ සහ අතුපැල් වල විසීම භික්ෂුව ගේ සැපත ය. අද අප රටේ ප්‍රචලිත පන්සල් යන්න පාලි බසින් අතු පැල් යන අදහස ගෙනෙන ‘පන්න සාලා’ යන්නෙහි සිංහල ස්වරූපයයි. කීර්තිය, ගෞරවය ගිහියාට ඇති සැපත වන අතර භික්ෂාව හෙවත් අනන්‍යයන් ගෙන් යැපීම භික්ෂුවට ඇති සැපයයි.

භික්ෂු යන සංස්කෘත සහ භික්ඛු යන පාලි වදනේ අරුත ද අනන්‍යයන් ගෙන් යැපෙන්නා හෙවත් සිඟමන් යදින්නා බව ද මෙහි දී සිහිපත් කළ යුතු ය. කාර්යබහුල වීම ගිහියාගේ සැපය වන අතර විවේකී බව භික්ෂුවගේ සැපය යි.

විචිත්‍රවත් බව ගිහියා ගේ සැපය වන අතර සරල සහ චාම් බව භික්ෂුවගේ සැපයයි. පුර සහ නගර වල වාසය ගිහියා ගේ සැපය වන අතර භික්ෂුවගේ සැපය වනුයේ ග්‍රාම වාසය සහ වනවාසයයි. බුදුන් විසින් දෙසා වදාළ ධර්ම විනය කරුණු මත ස්ථාපිත මෙම තත්වයන් වත්මන් සමාජයේ පොදු භික්ෂුත්වය කෙරෙන් කෙතරම් දුරට දැකිය  හැකිදැයි වැඩිදුර සිතා බැලීම ඔබට භාර ය.

ගිහි සමාජයේ ජීවත් වූවකු පැවිදි වීම තුළින් භික්ෂු සමාජයට පිවිසීමත් සමඟ තම පවුල් සබඳතාවයන් පවා අතිශයින් සීමා කළ යුතු ය. බුදුන් ගේ අගසව් පදවියක් හෙබ වූ සැරියුත් හිමියන් තම මව විසූ මහගෙදරට වැඩම කරන ලද්දේ එකම දිනයක පමණි. එනම් උන්වහන්සේ පිරිනිවන් පානා දිනයේ ය. නමුදු තම මාපියන් වියපත්ව, දුකට පත්ව අබල දුබල වූ විට ඔවුන් දෙදෙනා රැක ගැනීමට පමණක් විශේෂ විනයානුකූල අවසරයක් බුදුන් භික්ෂූන් හට ප්‍රදානය කර තිබේ. නමුදු ඒ අවසරය භික්ෂුව ගේ සොයුරු සොයුරියන් සම්බන්ධයෙන් වත් අදාල නොවේ.

බුදුන් වදාළ විනය ප්‍රඥාප්තීන්ට අනුව කිසිදු භික්ෂුවකට ගිහි සමාජය සමඟ කිසිදු බැඳීමක්. ගිවිසුමක් ඇති කර ගත නොහැක. අඩුම තරමින් වර්තමාන විහාරස්ථාන වලට දායක කාරකාදීන් විසින් ලබා දෙන පේරු දානය වුව නොලැබීම පිළිබඳ ඔවුන් ගෙන් කරුණු විමසීමට භික්ෂුවට විනයානුකූල හිමිකමක් නොමැත.

එවන් අවස්ථාවල බුදුන් භික්ෂුන්ට අනුදැන වදාරා ඇත්තේ පිණ්ඩපාතයෙන් යැපෙන ලෙසකි. මිනිසකු ගේ මූලික අවශ්‍යතා වන ඇඳුම් (චීවර) ආහාර (පිණ්ඩපාත) වාසස්ථාන (සේනාසන) ගිලානප්‍රත්‍ය (ඖෂධ) භික්ෂුන්ට එකසේ අවශ්‍ය වන බව පිළිගත් බුදුන් ඒවා ඉතා සරල සහ තම දිවි පැවැත්මට ප්‍රමාණවත් වන අවම තත්වයන් යටතේ පවත්වා ගැනීමටත්, කළමණාකරණය කර ගැනීමටත් භික්ෂුන්ට උපදෙස් දී ඇත්තේ ඒ කිසිවකදී ගිහියන්ට කරදරයක් බරක් නොවන මෙන් භික්ෂුන්ට අවවාද කරමිනි.

තමන් ගේ සාංසාරික විමුක්තිය මුඛ්‍ය අරමුණ කරගත් භික්ෂුවට ධර්ම දේශනා මගින් ගිහි සමාජය අර්ථ (ලෞකික) ධර්ම (ආධ්‍යාත්මික සහ සදාචාරාත්මක) ලෙසින් අවවාද අනුශාසනා ලබා දීමේ අවසරයක් භික්ෂුව සතුව තිබේ. නමුදු අති විශාල පිරිස් රැස් කරමින් සංවිධානාත්මක ලෙස ධර්ම දේශනා කිරීමේ නියමයක් බෞද්ධ විනය පිටකයේ කිසිදු තැනක නැත. එමෙන්ම අද බොහෝ ජනකාන්ත භික්ෂුන් විසින් සිදු කරනු ලබන ශාන්ති කර්ම ස්වරූපයේ මහා පරිමාන අනේක විධ පූජා චාරිත්‍ර සම්බන්ධයෙන් බෞද්ධ ධර්ම විනයෙහි කිසිදු සඳහනක් නැත.

මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කිව යුත්තේ නූතන සමාජයේ අනේක විධ ලෞකික අභිමතාර්ථයන් ඉටු කරගැනීම පිණිස රට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවත්නා ‘ආශිර්වාද පූජා’ නම් නරුම පුද පූජා සම්ප්‍රදාය බෞද්ධ ධර්ම විනයට අනුව කිසිදු වැදගැම්මකට නොමැති සේම බෞද්ධ විරෝධී මිථ්‍යා ද්‍රෘශ්ඨික ක්‍රියාකාරමක් බව ය.

මෙහි නමෙහිම සඳහන් අන්දමට හුදෙක් ලෝභ, ද්වේශ, මෝහ මත පදනම් වූ තමන් ගේ ආත්මාර්ථයන් පතා පුද පූජා සිදුකිරීම අකුසල ගණයට අයත් වන බව ඒකාන්තයෙන්ම කිව යුත-ු ය.

’ආගමික සංවිධාන වශයෙන් සිදු කෙරෙන පූජා ක්‍රියාකාරකම් මගින් ඒවායේ ප්‍රවර්ධනය අනුව පළමුව ගනු දෙනු ද දෙවනුව ව්‍යාපාර ද තෙවනුව ජාවාරම් ද සිදුවීම වැළැක්විය නොහැක’ යනුවෙන් මෑත භාගයේ ඉන්දායාවේ පහළ වූ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු වන ජිඩ්ඩු ක්‍රිෂ්ණමූර්ති තුමන් කළ ප්‍රකාශය ද මෙහි දී සිහිපත් කළ යුතු ය.

බෞද්ධ විනය පිටකයට මගින් භික්ෂුන් විසින් අනුගමනය යුතු සන්නිවේදන ආචාර ධර්ම පද්ධතියක් ද ඉදිරිපත් කොට තිබේ. ආර්ය මාර්ගයට පිවිසි භික්ෂුව විසින් අත් හළ යුතු නිරර්ථක කතා තිස් දෙකක් විනය පිටකයේ දැක්වේ.

රජුන්, සොරුන්, ඇමතියන්, සේනාව, බියජනක (අද්භූත), යුද්ධ, ආහාර, පාන වර්ග, ඇඳුම්, යහන්, මල්මාලා, විලවුන්, ඥාතීන්, රථ, ගම්, නියම් ගම්, නගර, ජනපද, කාන්තාවන්, ශූරයන්, වීදි, වැව් පොකුණු, මළවුන්, අරුත් සුන් දේ, විතණ්ඩවාදී හෙවත් පුහු තර්ක, ශාස්වෘත හෙවත් ආත්මවාදී, උච්චේජද හෙවත් ඓහලෞකික, දියුණුව, පිරිහීම, පස්කම් සැප සහ සිරුරට දුක් දීම යන විෂයන් පිළිබඳ සංවාද ගොඩනඟා ගැනීමෙන් භික්ෂුවගේ මූලික අභිමතාර්ථයන් යටපත් වන බව බෞද්ධ ඉගැන්වීම ය.

මූලික බුදු සමය හා සබැඳි භික්ෂු ප්‍රතිපදාවන් මෙබඳු වන අතර ධම්මපදයේ යමක වග්ගයේ ගාථා පාඨයක් මගින් තමන් ගේ භික්ෂුත්වයේ මුඛ්‍යාර්ථය පසෙකලා, හුදෙක් සමාජයීය කටයුතු උදෙසා ඉදිරිපත් වන භික්ෂුව පිළිබඳව මෙසේ පැවසෙයි.

“පිළිවෙත් නොපුරන ප්‍රමාදී භික්ෂුව බොහෝ බණ දෙසුවද අනුන්ගේ ගවයන් බලාගන්නා ගොපල්ලා ගවයන් ගණන් කොට කුලිය මිස පස්ගෝරස නොලබන්නාක් මෙන් පැවිද්දෙහි ඵල නොලබයි.”

දිවුල්වැවේ ජිනරතන හිමි

More Stories