times in sri lanka

අධික වැසි නිසා පවතින ආපදා තත්ත්වය හේතුවෙන් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ විපතට පත්වේ යැයි හඳුනාගෙන ඇති පවුල් 3400ක පමණ දළ වශයෙන් පුද්ගලයින් 12700ක වැනි ප්‍රමාණයකට කොරෝනා වෛරස ව්‍යාප්තිය පාළනය කරමින් සු‍රැකුම් මධ්‍යස්ථාන 89ක ‍රැදවීමට සූදානම්ව සිටින බව පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර්මසිරි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පොලොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමි‍ටුව ‍රැස්වූ අවස්ථාවේදී ය.එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිසාපතිවරයා මෙසේ ද කීය.

“දැනට පට ලැබී තිබෙන උපදෙස් අනුව කෝවිඩ් නයින්ටීන් වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ නොදී මේ වැසි නිසා හදිසි තත්ත්වයක් ඇති වුණොත් පවුල් 3400ක පමණ පුද්ගලයින් 12700ක විතර ප්‍රමාණයක් සු‍රැකුම් මධ්‍යස්ථානවල රඳවන්න වේවි.ඊට සුදුසු ස්ථාන සු‍රැකුම් මධ්‍යස්ථාන 89ක් හඳුනාගෙන තිබෙනවා.

වෙනදා වගේ මේ වතාවේ එහෙම සුරක්ෂිත මධ්‍යස්ථාන දාන්න බෑ.කෝවිඩ් නයින්ටීන් තත්ත්වය නිසා.නිරෝධායනය වූ පවුල් වෙනම ස්ථාන ගත කරන්න ඕන.

මේ හඳුනාගත් 89න් 10ක් අපි නිරෝධායනය වූ පවුල් සඳහා වෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ වගේම ඊට අවශ්‍ය පහසුකම් පිළිබඳව සොයා බලන්න ඕන.ඒ අයට කෑම බීම ලබා දීම හා අනෙකුත් පහසුකම් පිළිබඳව සොයා බැලීම කරනවා.අපි දැනට ඒ සඳහා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමි‍ටුව සක්‍රීයව කටයුතු කරනවා.” යැයි ද ඒ මහතා වැඩි දුරටත් කීය.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ,දිඹුලාගල,තමන්කඩුව හා ලංකාපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල පවුල් 120කට අයත් පුද්ගලයින් 467ක් ගංවතුර හා අධික වැසි සහිත තත්ත්වයෙන් පීඩාවට පත්ව ඇතැයි ද ඔවුන් ඥාති නිවෙස්වල ‍රැඳවීමට කටයුතු කළ බව ද ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා පැවසීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories