ලෝක වනාන්තර පිලිබඳව ජාත්යන්තර දිනය අදයි. එක්සත් ජාතීන් විසින් 2012 නොවැම්බර් පැවති සැසියේදී මාර්තු 21දා ලෝක වනාන්තර දිනය ලෙස නම් කරන ලදී. නමුත් ලංකාව වැනි පරිසරය දෙකේ කොලයට දමා සලකන රටකට ලෝක වනාන්තර දිනය සැමරීමට අවකාශයක් නැති බව වටහා ගත යුතුව ඇත.
අත්තනෝමතිකව වැලි ගොඩ දැමීමට ප්රවාහන බලපත්ර අහෝසියෙන් ගංගාධාර වනාන්තර පද්ධති වලට බලපෑම් එල්ල කිරීම තුලින් ඇරඹි ගමන් මඟ තුල මෙරට ප්රමුඛ පෙලේ වනාන්තර පද්ධති වලට පහර පිට පහර වදින්නට විය.
අභයභූමි, රක්ෂිත, වනෝද්යාන මෙන්ම මෙරට ඇති අත්යවශ්ය අනෙකුත් වනාන්තර පද්ධතිය වූ හෙක්ටයාර ලක්ෂ 7 කට ආසන්න මිල කල නොහැකි වනාන්තර පද්ධති වල සිදු වූ වන හායනය කොතරම් දැයි තවමත් හරියට කිව නොහැක.
මේ සටහන ලියන මොහොතේදී පවා දහයියාගල හෝ වෙනත් තැනක වන හායනයක් සිදු වන බව ඔබ තේරුම් ගත යුතුව ඇත.
මෙරට ඇති 15-17% අතර වනාන්තර පද්ධතිය තුල සිදුවන වනාන්තර ඉඩම් අත්පත් කරගැනීම, වනාන්තර කපා දමා සංවර්ධන කටයුතු සිදු කිරීම, වනසතුන්ගේ වාසස්ථාන අහිමි වීම තුලින් වනජීවින් හා මිනිසා අතර ගැටුම් ඇතිවීම, ජෛව හායනය, ස්වාභාවික විපත්, වැසි චක්රය අක්රමවත් වීම, ජල හිඟතාව වැනි පැතිරී ගිය දැවැන්ත බලපෑම් ඉදිරි කාලයේදි මෙරට මානව ප්රජාවට බලපානු ඇත.
හෙක්ටයාරයක් කපා පැල 300 ක් හිටවූ පමණින් වනාන්තර ප්රකෘතිමත් වන්නේ නැත.
තිබූ පරිසරය නැවතත් පැරණි මට්ටමට පැමිණෙන්නේද නැත. වනාන්තර යනු කිසිම මිලක් අය නොකර දහසක් දේ නොමිලේ ලබා දෙන දැවැන්ත සම්පත් මධ්යස්ථානයක් බව මෙරට බහුතරයක් තවමත් වටහාගෙන නැත.
සෙතිල් මුහන්දිරම්