රජයේ මුදල් වැය කරමින් ප්‍රාදේශීය මට්ටමින් සිදුකරන සංවර්ධන කාර්යයේදී මහජන නියෝජිතයන්ගේ අදහස් ද සැලකිල්ලට ලක් විය යුතු යැයි ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇතැම් සංවර්ධන කාර්යයන් පිළිබදව ප්‍රදේශය නියෝජනය කරන මන්ත්‍රීවරයා පවා දැනුවත් නොමැති බව  මෙරට බොහෝ පළාත්වල මහජන නියෝජිතයන් රජයට දන්වා ඇතැයි ගලගෙදර ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේදී පැවැති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව කීවේය.

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ගලගෙදර ආසනයේ ක්‍රියාත්මක කිරීමට යෝජිත වැඩසටහන් සඳහා අනුමැතිය ලබා ගැනීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී අමාත්‍යවරයා අදාල නිලධාරීන් හමුවේ මේ බව ප්‍රකාශ කළේය.

මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් එක්ව සංවර්ධන ක්‍රියාදාමය පවත්වාගත යුතු බවත් නොඑසේනම් අවසානයේදී අහිතකර ප්‍රතිඵල අත්විදීමට සිදුවන්නේ මහජනතාවට යැයි අමාත්‍යවරයා කීවේය.

සිංහළ හින්දු අලුත් අවුරුද්දට ප්‍රථමයෙන් විදුලිය නොමැති සියලු නිවාස සඳහා විදුලි සැපයුම ලබාදීමේ රජයේ නව ඉලක්කය අනුව ගලගෙදර ආසනයේ විදුලිය නොමැති සියලු නිවාස සඳහා කඩිනමින් එම පහසුකම් ලබා දිය යුතු බව ද අමාත්‍යවරයා අදාල නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.

සංවර්ධන ක්‍රියාදාමයේදී එක් එක් ආයතනවල නීති රීති රෙගුලාසි අවහිරතාවයක් නොවිය යුතු බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීන්දු ගත හැකි නිලධාරින් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා සහභාගීකරවා ගත යුතු යැයි ද අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා ගලගෙදර ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.එම්.ආර්.බී.සමරකෝන් මහතා, ගලගෙදර ප්‍රාදේශීය ලේකම් එස්.එම්.සී.ගුණරත්න මහත්මිය ඇතුලුව මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගීවූහ.

ගලගෙදර ආසනයේ ඉඩම් හිමිකම් නොමැති පවුල් විසිපහක් සඳහා ඉඩම් බලපත්‍ර හිමිකම් ඔප්පු පිරිනැමීම හා සමෘද්ධි ප්‍රතිලාභී පවුල්වල දරු දැරියන් විසිදෙනෙකු සඳහා සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානය ද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුවිය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories