arrack arest
බොරලැස්ගමුව පොලිස් වසමේ දෙහිවල පාර, දේවාල මුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක නගර සභා සේවකයකු ඇතුළු හය දෙනෙකු විසින් නිරෝධායන රෙගුලාසි කඩකරමින්  පැවැත්වූ මත්පැන් සාදයක් වටලා එම පුද්ගලයන් හත් දෙනාම අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.
අත්අඩංගුවට පත්වූ  සැකකරුවන් හත්දෙනා මත්පැන් පානය කර සිටියේ දැයි තහවුරු කරගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර ලබාගත් වාර්තාවක් අනුව සැකකරුවන්ගෙන් පුද්ගලයින් 06 දෙනෙකුම මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වූ බවත් පොලීසිය පැවසීය.
මෙම පුද්ගලයින් නිවසට ඇතුළු වීමට තිබෙන ප්‍රධාන ගේට්ටුව සම්පූර්ණයෙන්ම විවෘත කර මහාමාර්ගයට පෙනෙන අයුරින් මත්පැන් සාදය පවත්වා ඇති බවත් මෙම සාදය පිළිබඳව පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් මත වහා ක්‍රියාත්මක වූ බොරලැස්ගමුව පොලීසිය නිලධාරීන් විසින් නිරෝධායන නීති රෙගුලාසි කඩ කරමින්  මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් සියලු දෙනාම අත්අඩංගුවට ගත් බව ද බව ද පොලීසිය පැවසීය.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර දෙහිවල නගර සභාවේ වැඩ අංශයට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙක් සිටින බවත් 34 සිට 67 දක්වා විවිධ වයස් කාණ්ඩයන් වල පුද්ගලයන් මේ අතර සිටින බවත් මෙම පුද්ගලයින් මහරගම, බොරලැස්ගමුව, දෙහිවල නැදිමාල සහ දේවාල මුල්ල වැනි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද පොලීසිය පැවසීය.
නිරෝධාන නීති හා සංචාරණය නීති පනවා ඇති බැවින් දිවයිනේ සියලුම මත්පැන් හල් වසා තිබෙන බැවින් මෙම පුද්ගලයින්ගේ සාදයට ගෙන ආ මත්පැන් වැඩි මිලට ලබාගත් ඒවා බවත් පොලිසියේ විසින් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔවුන් පැවසූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
සැකකරුවන් නිරෝධායන ආඥා පනතේ රෙගුලාසි කඩ කිරීමේ වරද අනුව ගංගොඩවිල අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් නදීරා  බෝගහදෙනිය මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇපයක් මත සැකකරුවන් හත්දෙනා මුදාහරින ලෙසත් නැවත මෙම නඩු විභාගය  අගෝස්තු මස 10 වන දින කැඳවන ලෙසත් නියෝග කළේය.
එලෙස ලබාදුන් නියෝග මත අධිකරණ භූමියෙන් පිටතට පැමිණි සැකකරුවන් සියලු දෙනා නිරෝධායනය ක්‍රියාවලියකට යොමු නොකර තිබීම හේතුවෙන් තම පෞද්ගලික වාහනවලින් පිටත්ව යන ආකාරයද මාධ්‍ය ආවරණයට ගොස් සිටි මාධ්‍යවේදීන්ට දැක ගැනීමට හැකිවිය.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක යන මහත්වරුන්ගේ සෘජු අධීක්ෂණය යටතේ බොරලැස්ගමුව පොලිස් ස්ථානයේ  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ,ජී විජේරත්න මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කුලතුංග මහතා ඇතුළු නිලධාරීන් විසින් සිදුකරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories