ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් ඇති දේශයේ පළමු ආරක්ෂක වළල්ල, ශ්‍රී ලංකා නාවික හමුදාව  සිය 70 වන සංවත්සරය අද (‍9) අභිමානවත්ව සමරයි.  ඊට සමගාමීව නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් විවිධ තරාතිරම් වලට අයත් නාවික පුද්ගලයින් 1729ක් ඊළග තරාතිරම් දක්වා උසස් කිරීමට කටයුතු කෙරිණි.

එමෙන්ම නාවික හමුදාධිපතිතුමන්ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ සෑම  නාවික විධානයකම නාවික සම්ප්‍රදායන් සහ ආගමික කටයුතු සඳහා මුල්තැනක් දෙමින් සැමරුම් වැඩසටහන් සිදුකරනු ලබන අතර, 70 වන සංවත්සරයට සමගාමීව, මෙවර “මේ ඔබේ නාවික හමුදාවයි, ඔබේ නාවික හමුදාව පිළිබඳව දැනුවත්වන්න” යන තේමාව පෙරදැරිව දෙසැම්බර් මස 09 වන දින සිට 13 වන දින දක්වා ගාලු මුවදොර ඉදිරිපස මුහුදු තීරයේදී නෞකා පෙළ සංදර්ශනයක් පවත්වමින් නෞකාවන්ගේ හැකියාවන් සහ භාවිතය පිළිබඳව මාධ්‍ය ඔස්සේ ජනතාව දැනුවත් කිරීමටද කටයුතු සූදානම් කර ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් වූ ආගමික වැඩසටහන් මාලාව ආරම්භකරමින්, කංචුක පූජාව සහ නාවික ධජයන්ට සෙත් පැතීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර් මස 12 සහ 13 යන දිනයන් හීදී රුවන්වැලි මහ සෑ රදුන් අබියස සහ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී සංවිධානය කරන ලද අතර,  එහිදී ජාතික ධජය, බෞද්ධ ධජය සහ ශ්‍රී ලංකා නාවික හමුදා ධජය ඇතුළු නාවික හමුදා විධාන, ආයතන සහ නෞකාවන්ට අයත් ධජයන් 87 ක් වෙත ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ ආශිර්වාදය ලබාගන්නා ලදී.

එමෙන්ම, දෙසැම්බර් මස 08 වන දින මහනුවර ශ්‍රී දළඳා සමිඳුන් අබියස ගිලන්පස බුද්ධ පූජාව සිදුකරන ලද අතර,  අද (2020 දෙසැම්බර් මස 09) භික්ෂූන් උදෙසා දානමය පුන්‍යකර්මය ශ්‍රී දළඳා සමිඳුන් අබියසදී සිදුකරනු ලබයි.

තවද, යුද්ධයෙන් මියගිය සියළුම නාවික විරුවන් සිහි කරමින් සහ වත්මන් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියළුම නාවික හමුදා පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හටත් සෙත් පතා සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනයක් සහ භික්ෂූන් වහන්සේ හැත්තෑ නමක් විෂයෙහි (70) දානමය පුන්‍යකර්මයක්  සිදුකිරීමට ද කටයුතු සංවිධානයකර තිබේ.

මෙම ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර, මෙම සියලු වැඩසටහන් පවත්නා කොවිඩ් 19 ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ලබාදී ඇති සියළු සෞඛ්‍ය උපදෙස් හා ක්‍රමවේද අනුගමනය කරමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු කරනු ලබයි.

70 වන සංවත්සරය සමරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ක්‍රමිකව විකාශනය වූ ප්‍රෞඩ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී, ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ සිට දිවයිනට එල්ල වූ විදේශ බලපෑම් සඳහා මුහුණදීමට හැකි ක්‍රමිකව වර්ධනය වූ නාවික බලයක් මෙරට පැවත ඇති බවත්, එම නාවික බලය 12 වන සියවස වන විට අසල්වැසි රාජ්‍යයන්ටද අභියෝග කල හැකි තරම් වර්ධනය වී තිබූ බවත් ඉතිහාසය සාක්ෂි දරයි.

දෙවන ලෝක යුද්ධයේ පෙරලකුණු පහලවීමත් සමඟ සෑම බ්‍රිතාන්‍ය යටත් විජිත කොලනියකම සමුද්‍රීය ආරක්ෂාව තර කර ගැනීම කෙරෙහි සැලකිල්ල යොමුවීමේ ප්‍රතිපලයක් ලෙස, 1937 අංක 1 දරන  ස්වේච්ඡා නාවික හමුදා ආඥාපනත මගින් ඇරඹි ලංකා ස්වේච්ඡා නාවික හමුදාව, මෙරට නාවික හමුදාවක ආරම්භය සනිටුහන් කරන ලද අතර, 1950 අංක 34 දරන නාවික හමුදා පනත මඟින්, 1950 දෙසැම්බර් 09 වන දින රාජකීය ලංකා නාවික හමුදාව ස්ථාපිත කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ස්ථිර නාවික හමුදාවේ ආරම්භය සනිටුහන් විය. එතැන් සිට  ක්‍රමිකව වර්ධනය වූ රාජකීය ලංකා නාවික හමුදාව, 1972 වර්ෂයේ මැයි මස 22 වන දින මෙරට ජනරජයක් බවට පත්වීමත් සමග, ශ්‍රි ලංකා නාවික හමුදාව බවට පත් විය.

අසූව දශකය මුල්බාගයේ එල්ටීටීඊ සංවිධානය විසින් ආරම්භ කළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හමුවේ එතෙක් සාම්ප්‍රදායික රාජකාරීන් සඳහා මූලිකත්වය දී තිබූ නාවික හමුදාව, පූර්ණ ලෙස ක්‍රියාන්විත රාජකාරීන් සඳහා යොමු විය.

2009 වර්ෂයේ මැයි මස 18 වන දින ත්‍රස්තවාදය මානුෂීය මෙහෙයුමකින් විජයග්‍රහණය කර, දශක තුනක ශාපලත් යුද්ධය නිමකිරීමට උරදුන් නාවික හමුදාව, පස්චාත් යුද සමයේ රට ගොඩනැගීමේ ජාතික මෙහෙවරට උරදෙමින් වරායන් මෙන්ම මුහුදු ගමන් මාර්ග සඳහා නිරන්තර ආරක්ෂාව සපයනු ලබයි.

ශ්‍රී ලංකාවේ ගොඩබිම මෙන් හත් ගුණයක් විශාල වූ අනන්‍ය ආර්ථික කලාපයෙහි ඇති සාගරික සම්පත් හා සාගරික පරිසර පද්ධතිය ආරක්‍ෂා කිරීමත්, ශ්‍රී ලංකාවට අයත් සාගර කළාපයේ මෙන්ම ජාත්‍යන්තර මුහුදේ නීතිය ක්‍රියාත්මක කරමින් මහ මුහුදේ ආධිපත්‍යය රැකගැනීමත්, විදේශ ප්‍රතිපත්තියට හා ජාතික ආරක්ෂක අරමුණු වලට අනුකූලව ජාතික අවශ්‍යතා සපුරාලීම සඳහා සමුද්‍රීය පරිසරය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හිතකර ලෙස හැඩගස්වා ගැනීම සඳහාත් හමුදාමය, රාජ්‍යතාන්ත්‍රික සහ නීතිය බලාත්මක කිරීමෙන් මෙහෙයුම් සිදුකිරීම  නාවික හමුදාවේ කාර්යභාරය වේ.

දෘශ්‍යමාන සතුරෙක් නොමැති වුවත් සාගර කලාපයේ ආරක්ෂාවට විශාල බලපෑමක් සිදුකරනු ලබන මුහුදු මංකොල්ලකෑම්, සාගරික ත්‍රස්තවාදය, මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම, මිනිස් ජාවාරම, නීති විරෝධී වාර්තා නොවන සහ නියාමනය නොවූ ධීවර කටයුතු, සාගරික දූෂණය ඇතුළු නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාවේ සම්පත් හා පිරිස් බලය උපරිම ඵලදායිතාවයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් යුතුව යොදවමින් ජාතියේ පළමු ආරක්‍ෂක වළල්ල ශක්තිමත්  කිරීම සඳහා නාවික හමුදාව  දිවා රාත්‍රී නිරන්තර දේශ සීමා මුර සංචාර සිදුකරනු ලබයි.

More Stories