වැසී ඇති දහම් පාසල් යළි විවෘත කිරීම  කාලීන අවශ්‍යතාවයක් යැයි ජනමාධ්‍ය හා තැපැල් සේවා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

භෞතික වශයෙන් රට කෙතරම් දියුණු වුවද ආධ්‍යාත්මික දියුණුවක් බිහි කිරීමට නම්  දරුවන්ට ගුණගරුක  අධ්‍යාපනයක් ලබාදිය යුතු යැයි අමාත්‍යවරයා කීවේය.

හේවාහැට පින්නගොල්ල  ශ්‍රී සද්ධර්ම විහාරස්ථානයේ වසර දහයකට ආසන්න කාලයක් වැසී ගොස් තිබුණු ශ්‍රී රතනජෝති දහම් පාසල යළි විවෘත කිරීම නිමිත්තෙන් එම විහාරස්ථානයේ පැවැති උත්සවයට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

සමාජයේ ජීවත්වන යම් පුද්ගලයකුට ආධ්‍යාත්මික හැගීමක් දැනෙනවා නම් එහි පදනම වන්නේ ඔහු ලැබූ දහම් අධ්‍යාපනය යැයි අමාත්‍යවරයා කීවේය.

මධ්‍යම පළාතේ එක්දහස් පන්සියයකට අධික දහම් පාසල් සංවර්ධනය කිරීම සඳහා වසර ගණනාවක සිට තමන් විශාල කැපකිරීමක් කළ බවද අමාත්‍යවරයා සිහිපත් කළේය.

බහුජාතික, බහු වාර්ගික, බහු සංස්කෘතික  යනුවෙන් විවිධ අවස්ථාවල බහුත්වයක් පිළිබදව සිහිපත් කළත් ශ්‍රී ලංකාවේ ජන  සමගියට බෙහෙවින්ම පාදක වී ඇත්තේ සිංහල බෞද්ධයන් යැයි ද අමාත්‍යවරයා කීවේය.

ලක්ෂ 43 කට අධික පාසල් දරු දැරියන් සිටින මෙරට දහම් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශක්තිමත් වැඩපිළිවෙළක් දියත් කර ඇති බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළහ.

පාතහේවාහැට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී පූජ්‍ය හපුතලේ විමලධම්ම හිමි, පින්නගොල්ල ශ්‍රී සද්ධර්ම විහාරස්ථ විහාරාධිපති පූජ්‍ය හඟුරන්කෙත විමලානන්ද හිමි ඇතුළු මහා සංඝරත්නය ද පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ බණ්ඩාර යහපත් මහතා, පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් සාගරිකා දිල්හානි මහත්මිය, හිටපු පාර්ලිමේන්තු  මන්ත්‍රීනී ශ්‍රියානි දැනියල් මහත්මිය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories