පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට ද කෝවිඩ් වසංගතය ට මුහුණ දීම සදහා ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩ පිළිවෙලේ පළමුවන අදියර  අද (08) හා හෙට(09) අවදානම් කලාප ලෙස හදුනාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ 02 ක පුද්ගලයින්ට හා කර්මාන්ත ශාලා සේවකයන්ගෙන් ආරම්භ කරන බව පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ.කුමාරවංශ මහතා පවසයි.

මේ වන විට එහි සියලු මූලික කටයුතු අවසන් කර ඇති බවත් දිස්ත්‍රික්කයට එන්නත් මාත්‍රා 25000ක් ලැබුණ බවත් හෙතෙම වැඩි දුරටත් පැවසීය.

“ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයට අනුව ප්‍රමුඛතාව ලබා දෙන අය කාණ්ඩ 06ක් තියෙනවා.ඒ අනුව අපි ඒ කාණ්ඩ හයෙන් ප්‍රමුඛතාව ලබා දීලා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩිම අවදානම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙක වන තමන්කඩුව හා හිගුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල අවදානම්  ම ග්‍රාමනිලධාරි වසම්වල පුද්ගලයින් ට එන්නත් කරණය ආරම්භ කරනවා.පැයකට පුද්ගලයින් 150 බැගින් පුද්ගලයින් 1000කට එන්නත් කිරීමට මෙම ස්ථානවලදී බලාපොරොත්තු වෙනවා.

තමන්කඩුවට එන්නත් 7800ක් ද හිගුරක්ගොඩට එන්නත් 3800ක් ද වෙන් කර ඒ ග්‍රාම නිලධාරීන් හරහා අදාළ කාර්‍යයන් සංවිධානය කර තිබෙනවා.ඊළගට කර්මාන්ත ශාලා විශේෂයෙන්ම ගාර්මන්ට් ෆැක්ටරි හා සහල් මෝල්වල විශාල සේවක සංඛ්‍යාවක් අත්‍යවශ්‍ය සේවාවල යෙදී සිටිනවා.එම පිරිස 10 500ක් පමණ වෙනවා.ඒ අයටත් ඇතුළුව මෙම එන්නත් 25000 දින 4ක් තුළ ලබා දීමට කටයුතු කරනවා.”යැයි ද හෙතෙම වැඩි දුරටත් කීය.

මේ අතර පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මේ වනවිට තුන්වන රැල්ලෙන් ආසාධිතයින් 1310ක් ද පුද්ගල මරණ 24ක් ද වාර්තා වී ඇති බවත් ඉන් වැඩිම ආසාධිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ හිගුරක්ගොඩ හා තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකෙන් ය.පිළිවෙලින් 399ක් හා 327ක් ලෙස දැක්වෙන අතර මරණ සංඛ්‍යාවෙන් 8ක් තමන්කඩුවෙනුත් 6ක් හිගුරක්ගොඩිනුත් වාර්තා වීම විශේෂිතය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories