vee

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මාස් කන්නයේ වී මිලදී ගැනීම පුද්ගලික වෙළෙන්දන්ගේ ග්‍රහණයට නතුව ඇති බවත් විවිධ මිලගණන් යටතේ වී මිලදී ගැනීම සිදු කරන බවත් ගොවීහු පවසති.

දිඹුලාගල,අරලගංවිල වැන්බි ප්‍රදේශවල නාඩු තෙත වී කිලෝව රුපියල් 40 සිට 44 දක්වා මිලගණන් යටතේ ගොවීන්ගෙන් මිලදී ගණිමින් සිටින අතර සම්බා තෙත වී කිලෝව 41 සිට රුපියල් 48 දක්වා විවිධ මිල ගණන් පවතින බව ගොවීහු පවසති.වේලන ලද වී කිලෝව නාඩු කිලෝව රුපියල් 50ක් 52ක් පමණ වන බවත් සම්බා කිලෝව රුපියල් 52.ත් 55 ත් අතර මිලකට මිලට ගැනෙන බවත් ගොවීහු පෙන්වා දෙති.

මෙසේ විවිධ මිලගණන් යටතේ වී මිලදී ගැනීමට ව්‍යාපාරිකයන් පෙළඹී තිබෙන්නේ රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවෙලෙහි අසාර්ථක බවත් කෘෂිකර්ම ඇමතිවරයා ගොවීන්ට විවිධ කොන්දේසි පැනවීමත් නිසා බව ද ඔවුහු අවධාරණය කරති.ගොවි සංවිධාන මට්ටමෙන් වී මිලදී ගැනීමේ යාන්ත්‍රයනය ශක්තිමත් කළ යුතු බව ගොවීන් පෙන්වා දෙන්නේ කෘෂිකර්ම පර්යේෂණ සහකාරවරුන් හරහා වී මිලදී ගැනීම අසාර්ථක බවත් ඔවුන්ට ද වී මේලීම සඳහා විධිමත් ක්‍රමයේදයක් නොමැති බවත් ඒ සඳහා නිකන් කොමිස් මුදලක් ලබා දී ඔවුන් සතු‍ටු කිරීම පමණක් සිදුවන බවත් පොලොන්නරුවේ ගොවීහු චෝදනා කරති.

“අපි කියන්නේ ගොවි සංවිධාන මට්ටමෙන් වී මිලදී ගැනීමේ යාන්ත්‍රයණයක් හදන්න.ඒක කරන්න පුළුවන්.ඒ වගේම එම වී තොග සහල් බවට පත් කිරීමේ යාන්ත්‍රයණයත් ගොවි සංවිධාන හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්.එවැනි ක්‍රමයක් ඇතිවන තෙක් වී මෝල් හිමියන් ගොවියාගේ වී තොග කොල්ල කාලා සහල් මිල ඉතාම ඉහළ මිලක පවත්වා ගනිමින් විශාල ලාභයක් ලබා ගැනීම නවත්වන්න බෑ.” පොලොන්නරුව දිස්ත්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති අරුණකීර්ති මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට වී අළෙවි මණ්ඩලය මගින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම අරඹා ඇති අතර වී කිලෝ දස දහසක් පමණ මිලට ගෙන ඇති බවත් ප්‍රාදේශීය කළමනාකරු නිමල් ඒකනායක මහතා පවසයි. රජයේ සහතික මිල වන රුපියල් 52.50ක මිලකට වේලන ලද නාඩු වී කිලෝවක් ද සම්බා රුපියල් 54 ක මිලකට ද වී අලෙවි මණ්ඩලය විසින් මිලට ගනියි.

ඊෂා  මුදියන්සේ – පොලොන්නරුව

More Stories