rats

අනුරාධපුර ශික්ෂන රෝහල් පරිශ්‍රයේ පිහිටි වකුගඩු රෝග නිවාරණ මධ්‍යස්ථානය මීයන්ගේ රජ දහනක් බවට පත්විමෙන් රෝගින් කාර්ය මණ්ඩලය දැඩි අසීරුතාවයකට පත්වි සිටිනා අතර හෙදියන් දෙදෙනෙකු මීයන්ගේ සපාකෑමට ලක්විමෙන් ප්‍රතිකාර ලබාගෙන තිබෙනා බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

සති කිහිපයක සිට වකුගඩු රෝග නිවාරණ ඒකකයේ වාට්ටු අංක 34 රුධිර කාන්දුකරණ ඒකකයට හා විවේකාගාරයට බරපතල අන්දමින් මීයන් බෝවි ඇතත් රෝහල් පරිපාළනය විසින් ඊට විසදුමක් ලබාදීමට මෙතෙක් ක්‍රියාත්මකවි නොමැති බවට රෝගින් චෝදනා කරයි.

අංක 34 වාට්ටුවේ වකුගඩු රෝගයට ගොදුරුවි බරපතල තත්වයෙන් ප්‍රතිකාර ලබන්නන් මෙන්ම වාට්ටුවේ හෙද හෙදියන් ඇතුළු කාර් ය මංඩලය මී කරදරය නිසා දැඩි පීඩාවට පත්වි සිටිති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු රෝගින් කිහිප දෙනෙකු මෙසේ පැවසුවේය.අපි වකුගඩු රෝගය වැලදිලා තියෙන නිසා නේවාසිකව ප්‍රතිකාර ගන්නවා.දැන් ලොකු බයක් තියෙනවා මී උණ හැදෙයිද කියලා.ඒ තරමට වාට්ටුවේ මීයෝ ඉන්නවා.රාත්‍රීයට නිදාගන්න විදියක් නෑ ඇග දිගෙත් දුවනවා.කෑමක් තියාගන්න බෑ මේ ලොකර් වල ලාච්චු වලටත් රිංගලා ඒවා කනවා.

රෑට වැඩකරලා වැඩකරලා හෙම්බත්වෙලා හිටපු මිසීලා දෙන්නෙක් විවේකාගාරයේ විවේක ගනිමින් ඉද්දි මීයෝ හපලා කියලා දැනගන්න ලැබුණා.ඒ නෝනලා ප්‍රතිකාර ගත්තා කියලත් දැනගන්න ලැබුණා.මී කරදරය නිසා හරිම බයයි රෑට නිදාගන්න ඇවිල්ලා හපලා යයි කියලා යනුවෙන් ඔවුන් පැවසූහ.

වකුගඩු ප්‍රතිකාර ඒකකයේ වාට්ටු අංක 34 ඩයිලයිසිස් ඒකකය (රුධිර කාන්දුකරණ ඒකකය) විවේකාගාරයට මීයන්ගෙන් ප්‍රහාර එල්ලවන බව තහවුරුවූ අතර අත්‍යාවශ්‍ය උපකරන බෙහෙත් ද්‍රව්‍ය පමණක් නොව රෝගින්ගේ රුධිර සාම්පලවලට පවා මීයන් ප්‍රහාර එල්ලකරනා බව අනාවරණය විය.

බරපතල රෝගා බාධයක් වන වකුගඩු රෝගයට ලක්වි සිටින රෝගින්ට හා හෙද හෙදියන් ඇතුළු කාර් ය මණ්ඩලයට හිසරදයක් වන අන්දමින් වකුගඩු ඒකකයට මීයන් බෝවි ඇතත් ඊට පිළියම් නොදෙන්නේ මන්දැයි අනුරාධපුර ශික්ෂන රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ දුලාන් වීරවර් ධන මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි එවැනි සිද්ධියක් වාර් ථාවි නැති බව ඔහු කීවේය.

අනුරාධපුර මධ්‍යම විශේෂ – බී.එම්.විජේසුරිය

More Stories