ගනේමුල්ල සංජීව නමැති පාතාල අපරාධ සැකකරුව ඝාතනය කරන්නේ අධිකරණයට ඉදිරිපත් කිරීමට ගෙනැවිත් තිබියදීය. ඝාතකයා පැමිණ තිබෙන්නේ නීතීඥවරයකු ලෙස වෙස්වලාගෙන බව කියැවේ.
රට තුළ ගොඩනැගෙමින් ඇති අරාජිකත්වයේ ඉව මුලින්ම දැනෙන්නේ පාතාල අපරාධකරුවන්ටය. ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වී දැන් මාස පහකට ආසන්නය. අපරාධ සංස්කෘතියේ කිසිදු වෙනසක් සිදු වී නැත.
අඩු තරමේ මත්ද්‍රව්‍ය හිඟය නිසා අසනීප වී සිටින කුඩු සික්කාරයකු හෝ ඔබ දැක තිබේද?
පොලිසිය එහෙට මෙහෙට මාරු කර ඔන්න දැන් හරිනෙ එහෙනං කරලා පෙන්නන්නැයි කියා ප්‍රමාණවත් නැත. දේශපාලන නායකත්වය වගකීම භාරගත යුතුය.
මතුගම ප්‍රදේශයේ අයෙකු වන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පසුගිය දිනෙක මාධ්‍යවලට පැවසුවේ පාතාලයට නායකත්වය දෙන්නේ ඔහුගේ ගමේ අයෙකු බවයි. ඔහු පාතාල ක්‍රියාකාරීත්වය ගැන හොඳින් දන්නා බව පෙනේ.
ඒ වුණාට බුද්ධි අංශ මතුගම පැත්තේ කැරකෙමින් මට විරුද්ධව පොත් කේස්, එන්ජීඕ කේස් ඇති බව මා සමග සමාජ ක්‍රියාකාරකම්වල නියැලෙන අයට කියමින් හා ගමේ ප්‍රචාරය කරමින් මා ඇසුරු කිරීමට මිනිසුන් බිය කරන එක නම් කරති.
ඔය විදියට රටේ නීතිය හා සාමය ඇති කළ නොහැකිය. ඒ වෙනුවෙන් දේශපාලන නායකත්වය වගකීම ගත යුතුය. අපරාධ මර්දනය වෙනුවෙන් පෙනී සිටින පොලිස් නිලධාරීන් ආරක්ෂා කිරීමට ද සිදු වනු ඇත.
ටිරාන් අලස්ට ආරක්ෂාව දෙන්නේ ඇයිදැයි ප්‍රශ්නයක් දැන් අසනු ලැබේ. ඔහුට ආරක්ෂාව දිය යුතුය. ඔහු අපරාධ මර්දනය වෙනුවෙන් නායකත්වය දුන් දේශපාලකයෙකි.
මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම් භාරගත් ආනන්ද විජේපාල ඇමතිවරයා සමහ සුනිල් වටගල නියෝජ්‍ය ඇමතිවරයා ආඳා මාළු ඉරටෙන් කන්නට උත්සාහ නොකළ යුතුය. වගකීම භාරගෙන, ආරක්ෂාව සලස්වාගෙන ධෛර්යයෙන් කටයුතු කළ යුතුය. ඇඟ බේරාගෙන කළ හැකි කිසිවක් නැත. එහෙම ඇඟ බේරාගෙන ඉන්නට ඕනෑ නම් දේශපාලනය නොකළ යුතුව තිබිණි.
– අජිත් පැරකුම් ජයසිංහ,