ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට (Starlink) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව තිබේ.මේ අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු ඇති බවත් තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැති මධ්‍ය හමුවට එක්වෙමින් ඊයේ (06)පැවසීය.

පසුගියදා ඉන්දුනීසියාවේ පැවැති 10 වැනි ලෝක ජල සමුළුවේ ඉහළ පෙළේ සැසියට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලොව ප්‍රකට ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් (Elon Musk) මහතා අතර හමුවේදී “Starlink”ජාලය සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයැදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කර තිබිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට අනුමැතිය හිමිව තිබේ. “Starlink” ජාල මධ්‍යස්ථාන ලොවපුරා 2000ක් පමණ ස්ථාපිත කර ඇති අතර, රටවල් 32ක් මේ වන විටත් වේගවත් අන්තර්ජාල පහසුකම ලබයි.

Similar Posts