ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකදීම පසුගිය දිනවල ගිනිගැනීම් පිළිබඳව වාර්තා වීම සැලකිල්ලට ගනිමින් සිතාමතා හානිදායක අන්දමින් ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට අදාළ අංශ වෙත උපදෙස් දී ඇති බව දිසාපති ලලින්ද ගමගේ මහතා සඳහන් කළේය.
පවතින වියළි කාලගුණික තත්ත්වය මත පසුගිය දිනයන්හිදී ගම්පහ දිස්ත්‍රික්කයේ ගිනි ගැනීම් ගණනාවක් වාර්තා වූ බවත්, මේ සඳහා හේතු වී ඇත්තේ කුඹුරුවලට ගිනි තැබීම්, වියළි ගස්වලට ගිනි තැබීම් හා අපද්‍රව්‍යවලට ගිනි තැබීම් වන අතර, එම ගින්න අවට ඉඩම්වලට පැතිර යෑමෙන් ගිනි ගැනීම් ආපදා තත්ත්වයන් වාර්තා වී ඇති බවද දිසාපතිවරයා පැවසීය.
මෙම ගිනි ගැනීම් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකකය, ආරක්ෂක අංශවල හා අනෙකුත් ආයතනවල සහාය ලබා ගැනීමට සිදු වූ බවත්, ගිනි ගැනීම් තත්ත්වය පැතිර ගියහොත් ගින්න ඇතිවන ස්ථානයේ අවට ගොඩනැඟිලිවලට හා ජනතාවට අනතුරු සිදු විය හැකි බැවින් ගිනි තැබීම් නොකිරීමට පුද්ගලයන් වගබලා ගත යුතුව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි එසේ ගිනි තැබීමෙන් ආපදා තත්ත්වයන් සිදු විය හැකි ස්ථාන, ගිනි තැබීම් සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ග්‍රාම නිලධාරීන් හා අදාළ අනෙකුත් නිලධාරීන්ගෙන් ලබා ගන්නා ලෙසත්, එවැනි ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු අදාළ පොලිස් ස්ථාන වෙත දන්වා නීතිය ක්‍රියාත්මක කරමින් ගිනි තැබීමෙන් සිදුවන ආපදා තත්ත්වය අවම කර ගැනීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරන ලෙසත් ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුම්වත් කිරීමට පියවර ගෙන ඇති බවද ගමගේ මහතා කීය.