නව වර්ෂයේ පාසල් විවෘත කිරීමත් සමඟ දරුවන් ප්‍රවාහනය වෙනුවෙන්  අවශ්‍ය පරිදි සිසු සැරිය බස් රථ යොදවන බව  මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසයි.

ඉල්ලුමට සරිලන පරිදි සිසු සැරිය බස් රථ යෙදවීම මෙන්ම එම සේවාව නොලැබෙන සෙසු මාර්ග සඳහා සිසු සැරිය බස් රථ යෙදවීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමඟ සාකච්ඡා කළ බව පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන ක්ෂේත්‍රෙය් නිලධාරීන් සමඟ ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව  අදහස් පළ කරමින් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මේ බව කීවේය.

විදුහල්පතිවරුන්ගෙන් කරන ඉල්ලීම් අනුව අවශ්‍ය ප්‍රමාණයට සිසුසැරිය බස් රථ යොදවන බවත් ඊට සමගාමීව පුද්ගලික බස් රථ ද පාසල් දරුවන් ප්‍රවාහනය වෙනුවෙන් වෙන් කර ඇතැයි ද ආණ්ඩුකාරවරයා කීවේය.

ඒ වෙනුවෙන් මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලයේ සිසු සැරිය රියදුරන්  ඇතුලු කාර්යය මණ්ඩල පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොදවන බව ඒ මහතා සදහන් කළේය. එමෙන්ම දරු දැරියන් පාසල වෙත පැමිණීමේදී මෙන්ම යළි නිවෙස් කරා පිටත්ව යන අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අමතර පොලිස් නිලධාරීන් පිරිසක් යොදවන බව ද ඒ මහතා කීවේය.

වසර දෙකක පමණ කාලයක් කොරෝනා වසංගත තත්ත්වය තුරන්ව නොයන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇති තත්ත්වයක් යටත් දිගු කාලයක් පාසල් වසා තැබීමෙන් දරුවන්ට සිදුවන පාඩුව යළි ආවරණය කර ගැනීම පහසු නොවන නිසා ජනවාරි මස 11 වන දින පාසල් විවෘත කරන බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් සියලුම ආරක්ෂිත පියවර ගෙන ඇතැයි ද ඒ මහතා කීවේය.

ඒ අනුව මධ්‍යම පළාතේ පාසල් 1519ක දරු දැරියන් පන්ලක්ෂ හතලිස් හතරදහසක් පාසල් වෙත පැමිණීමට නියමිත බැවින්  ඔවුන්ගේ හා ගුරුවර ගුරුවරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තර කර ඇතැයි කී ආණ්ඩුකාරවරයා ඒ වෙනුවෙන් රජය අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇතැයි ද ප්‍රකාශ කළේය.

පාසල් විවෘත කිරීමත් සමඟ ඉදිරියේදී පෙර පාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ද විවෘත කළ හැකි බව ද ආණ්ඩුකාරවරයා කීහ. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් අනිසි බියක් ඇති කර ගත යුතු නැතැයි කී ආණ්ඩුකාරවරයා යම් අවදානම් තත්ත්වයක් ඇත්නම් දරුවන්ට ළඟම පාසලට ගොස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් මේ වන විට හදුන්වාදෙමින් සිටින බව ද කීවේය.

නියමු ව්‍යාපෘතියක් ලෙස මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් හදුන්වා දුන් එය ක්‍රමවේදය සාර්ථක වී ඇති බවත් නගරයට පැමිණෙන දරුවාට ඒ අනුව සිය නිවසට ආසන්නතම පාසලින් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවක් ඉදිරියේදී හිමිවනු ඇතැයි ඒ මහතා සදහන් කළේය.

පාසල් විවෘත කිරීමට එරෙහිව අදහස් පළ කරන ඇතැම් වෘත්තීය සංගම් එම මතයෙන් ඉවත්ව දරුවන්ගේ ආරක්ෂාව තහවරු කොට පාසල් විවෘත කිරීමට සහයෝගය ලබා දෙන්නේ නම් එය වඩා වැදගත් වන බව ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අජිත් නන්දන ගලගොඩ මහතා, මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක මහතා ඇතුලුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, අධ්‍යාපන උපදේශකවරුන් ඇතුලු පිරිසක් මෙම සාකච්ඡාව සඳහා සහභාගීවූහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

More Stories