ආර්ථිකය සහ පරිසරය නිරන්තරයෙන් බැඳී පවතින බැවින් වැඩි වෙමින් පවත්නා කාලගුණික සහ දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට දිගු කාලීන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රුවන් විජයවර්ධන මහතා මේ බව සඳහන් කළේ පසුගියදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැති “දේශගුණික මූල්‍යකරණය” (Climate Finance) පිළිබඳ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි.
දේශගුණික විපර්යාසයන් හා ආර්ථිකයට අදාළ ජාත්‍යන්තර රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන රැසක සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් මෙම සංවාදය පැවැත්විණි.
කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් ජය ගැනීමේ ක්‍රියාවලියේදී සියලුදෙනා සාමූහිකව එක් විය යුතු බව පැවසූ විජයවර්ධන මහතා ශ්‍රී ලංකාව දැනටමත් පරිසර සහ වායු දූෂණය අවම කර ගැනීමට වැඩපිළිවෙළ රැසක් ආරම්භ කර ඇතැයි ද පැවසිය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වු රුවන් විජයවර්ධන මහතා,
ශ්‍රී ලංකාව දැනට ඉතාම දුෂ්කර ආර්ථික තත්වයක් පසු කරමින් සිටිනවා. එය අප නිදහස ලැබුවාට පසු හටගත් විශාල ම ආර්ථික අර්බුදයයි. සමාජ ආර්ථික වශයෙන් ඉතාමත් ඉක්මනින් මේ තත්ත්වය ප්‍රතිසංස්කරණය කර ගත යුතුව තිබෙනවා.
අපේ රට දූපතක්. ඒ නිසාම අපි කාලගුණික සහ දේශගුණික විපර්යාස වලට ඉක්මනින්ම ගොදුරු වෙනවා. මේ තත්ත්වය කාලයෙන් කාලයට වර්ධනය වෙමින් යනවා. විශේෂයෙන්ම ජලය මූලික කර ගත් ව්‍යසනවලට අපි මුහුණ දෙමින් සිටිනවා.
ලෝකයේ වැඩියෙන්ම කාලගුණික සහ දේශගුණික අවදානම්වලට ලක්විය හැකි රටවල් දහය අතරේ අප සිටින බව ගෝලීය කාලගුණික අවධානම් දත්ත පොතේ 2018 නිකුත් කළ වාර්තාවන්ට අනුව සඳහන් වෙනවා.
රටේ මෙවැනි අර්බුදකාරී වාතාවරණයක් පවතින මොහොතකදී දේශගුණික විපර්යාසත් සිදුවීමේදී පවතින තත්වය කළමනාකරණය කර ගැනීමට අපහසු වෙනවා. විශේෂයෙන්ම දේශීය සම්පත් මත යැපීමේ අවශ්‍යතාවය අපේ අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා අවශ්‍යව තිබෙනවා.
උදාහරණයක් වශයෙන් කෘෂිකර්මාන්තය,ධීවර කර්මාන්තය සහ සංචාරක කර්මාන්තය වැනි අංශවල දී මේ තත්ත්වය ඉතාමත් වැදගත් වෙනවා.
මේ තත්ත්වයන් තුළ දී කාලගුණය මගින් හටගන්නා විවිධ දුෂ්කරතා නිසා, අපේ ජන ජීවිතයට හානි වන අතරම ආර්ථිකය ආපස්සට යෑමක් සිදුව තිබෙනවා.
හරිතාගාර වායු විමෝචන ක්ෂේත්රයේදී ශ්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් මතුව තිබෙනවා. පසුගිය වසරේ වායු විමෝචනය අවම කරගැනීම සඳහා අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙනවා. 2030 වර්ෂය වන විට ශ්‍රී ලංකාව තම බල ශක්ති අවශ්‍යතාවයෙන් සියයට හැත්තෑවක් පමණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයෙන් ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ඒ වගේම 2050 වර්ෂය වන විට ගල් අඟුරුවලින් ක්‍රියාත්මක වන විදුලි බලාගාර සම්පූර්ණයෙන්ම නවත්වන්නට තීරණය කර තිබෙනවා. මේ ඉතාම වගකිව යුතු තත්ත්වයක්. මේ සඳහා ඉතා ශක්තිමත් සම්බන්ධීකරණ වැඩපිළිවෙළක් සහ මුදල් ප්‍රමාණයක් අවශ්‍යයි.
තවද එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ අප කාබන් ශූන්‍ය කිරීමේ වැඩසටහනක් සහ ඒ සඳහා වූ ක්‍රමෝපායික වැඩපිළිවෙළක් සකස් කරමින් සිටිනවා. ඒ තුළින් තමයි අපි අපේ පරිසරය සම්බන්ධව තිරසාර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේ.
මෙම කාබන් ශූන්‍ය කිරීමේ වැඩපිළිවෙළේ දී බලශක්ති නිෂ්පාදන අංශයට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. ඒ වගේම ජාතික කාලගුණික වෙනස්කම් ප්‍රතිපත්තියක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
කාලගුණය සහ දේශගුණය සම්බන්ධව ගන්නා හැම තීරණයක්ම ප්‍රතිපත්ති මත තීරණය විය යුතු බව අප තරයේ විශ්වාස කරනවා. එසේ වුවත් තවත් විශාල කාර්යභාරයක් ඉටු කරන්නට අපට ඉතිරි වෙලා තිබෙනවා.
මෙතැනදී තමයි මේ දේශගුණික මූල්‍ය සංකල්පය වැදගත් වන්නේ. සියල්ලක් වෙනුවෙන්ම මුදල් අවශ්‍යයි. එනිසා මේ මොහොතේ වඩා වැදගත් වෙලා තියෙන්නේ දේශගුණික මූල්‍යකරණය කියන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමයි. මේ කාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම අපි දැනටමත් ආරම්භ කර තිබෙනවා.
මේ කරුණ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ අපි දැනටමත් එකතු වෙලා ඉන්නවා. මේ වන විට ශ්‍රී ලංකා මහ බැංකුව තිරසාර ජාතික මූල්‍ය වැඩපිළිවෙළක් සඳහා යොමු වෙමින් ඉන්නවා. මේ සඳහා “බයෝ ෆින්” (BIOFIN) සහයෝගය ලැබෙනවා.
මා මේ දක්වා පැහැදිලි කළ කරුණු සමග තවත් එක් අවසන් කාරණයක් සඳහන් කරන්නට තිබෙනවා. දේශගුණ විපර්යාස ගැන සාකච්ඡා කිරීමේදී අඩු කාබන් ප්‍රතිශතයක් පවත්වාගෙන යෑම, අවදානම් දැනුම් දීමේ ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම, යන කරුණු සඳහා අරමුදල් සම්පාදනය කර ගැනීම යන කාරණා සම්බන්ධව අවධානය යොමු කරන බව සඳහන් කරන්නට කැමතියි.
දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන