මෙරට රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සමඟ සාකච්ඡාවකට සූදානම් වන බවට වාර්තා වේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට එක්සත් ජනපද නියෝජිතායතනය විසින් අරමුදල් සැපයීම නැවැත්වීමට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයෙන් මෙරටට ඇති විය හැකි බලපෑම් පිළිබඳව සාකච්ඡා කිරීම එහි මූලික අරමුණ වී තිබේ.
සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සාමූහික සම කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළකරමින් සිවිල් සමාජ සංවිධාන සහ රාජ්‍ය නොවන සංවිධාන සාමූහික සම කැඳවුම්කරු පිලිප් දිසානායක මහතා පෙන්වාදෙන්නේ අමෙරිකාවේ මෙම තීරණය පැමිණ ඇත්තේ, ශ්‍රී ලංකාවට අරමුදල් සැපයූ ප්‍රධාන ආයතන කිහිපයක් මුදල් ලබාදීමෙන් වැළකී සිටින හෝ පසුගිය කාල වකවානුවේ ලබාදුන් අරමුදල් ප්‍රමාණය අඩුකර ඇති පසුබිමක බවයි.
එවැනි ආයතන ඉවත්වීමෙන් අනතුරුව ඇති වූ අතිරික්තකය පුරවා ඇත්තේ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) සහ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වැනි අරමුදල් සපයන ආයතන මගින් වුවත් වර්තමානයේ දී එම ආයතන ද ඉවත්වීමේ අවදානමට ලක්ව ඇති බව ඔහු වැඩිදුරත් පෙන්වාදෙයි.
එක්සත් ජනපද නියෝජිතායතනය USAID මගින් අරමුදල් සපයන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන රාජ්‍ය නොවන සංවිධානවලට මාස තුනක කාලයක් එනම් ජනවාරි 24 වනදා සිට අප්‍රේල් 23 දක්වා සියලු වැඩ තාවකාලිකව නවත්වන ලෙස අමෙරිකානු රජය මගින් දැනුම් දී තිබේ.
අරමුදල් සැපයීමේ තත්ත්වය සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් නොමැති බවට කනස්සල්ල මතුව තිබුණ ද, මෙම කාලය අවසන් වන විට යම් සහනයක් ලැබෙනු ඇතැයි රාජ්‍ය නොවන සංවිධාන බලාපොරොත්තු වන බව ද පිලිප් දිසානායක මහතා තවදුරටත් සඳහන් කරයි.