මහජනයාට පීඩාකාරී අයුරින් මාර්ගවල ගමන් ගන්නා මගීන්ට අන්තරාදායක අයුරින් දෑත් දෙපසට විහිදුවමින් යතුරුපැදියේ හැඬලය අතින් නොඅල්ලා තනි රෝදයෙන් යතුරුපැදි පදිමින් සිටි තරුණයන් (06) දෙනෙකු  පිළියන්දල, බෝකුන්දර වීරසිංහ මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි.

බෝකුන්දර වීරසිංහ මාවත මාර්ගයේ ගමන් ගන්නා මිනිසුන්ගේ  ජීවිතවලට තර්ජනයක් වන අයුරින්  තරුණයන් පිරිසක් අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කරන බවට පිලියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාට ලද   දුරකථනය තොරතුරක් අනුව මෙම පිරිස අත්අඩංගුවටගත් බවද පොලිසිය පැවසීය.
මෙම වැටලීම සිදු කිරීමට පෙර පොලිස් උපාය දූතයකු එම ප්‍රදේශයට පිටත්කර යවා තරුණයන් පිරිස ඒ ආකාරයෙන් යතුරු පැදි පදවන අයුරු ජංගම දුරකථනයකින්  වීඩියෝ දර්ශනය ලබාගෙන ඇති බවත් ඒ අනුව මෙම තරුණයින් පිරිස අත්අඩංගුවට ගත් බවද පොලීසිය පැවසීය.
පොලිස් උපාය දූතයා ලබාදුන් තොරතුරු හා වීඩියෝ දර්ශන අනුව එම ප්‍රදේශ ආවරණය වන පරිදි රථවාහන අංශයේ නිලධාරීන් යෙදූ ස්ථානාධිපතිවරයා එලෙස අනාරක්ෂිත අයුරින් යතුරුපැදි පදිමින් සිටි  තරුණයන් පිරිස  යතුරුපැදිද සමඟ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් යතුරුපැදි පරික්ෂා කිරීමේදී  ඇතැම් යතුරුපැදිවල පිටුපස රෝදයේ ඉහළින් සවිකර තිබෙන මඩ විසිවීම වැළැක්වීම සඳහා යොදා ඇති  මඩ් ගාඩ් ද  ගලවා තිබෙන අයුරු දැකගත හැකි වු බවත්  ඔවුන් එසේ කර ඇත්තේ තනි රෝදයෙන් ගමන් කිරීමේ පහසුව සඳහා බව එම තරුණයන් ගෙන්  සිදු කළ ප්‍රශ්න කිරීමේදී කිරීමේදී අනාවරණය වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකාර තරුණයන් පොලිස් ඇප මත මුදාහැර ඇති බවත් ඉදිරි දිනයකදී අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලීසිය පැවසීය.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් ප්‍රේමරත්න, පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල  පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (40619) අතපත්තු පොලිස් කොස්තාපල්වරුන් වන( 93724) මදරසිංහ, (73182) විජිත, (93729) වීරසිංහ, (82495)ශශික  (93671) ශනාස් මහත්තුරු පරීක්ෂණ පවත්වයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories