මාස හතරක කාලයක් පුරා තම ස්වාමියා අතුරුදන් වී සිටීම නිසා මින්නේරිය, සමඟිපුර, සංඝමිත්තා මාවතේ පදිංචි සිව් දරු මවක දැඩි සේ අසරණභාවයට පත්ව සිටී.
මෙසේ අතුරුදන්ව ඇත්තේ යුද හමුදාවේ සිවිල් සේවකයකු වන කෝනාර මුදියන්සේලාගේ සෝමතිලක බණ්ඩාර නමැති හතළිස් හැවිරිදි පුද්ගලයෙකි. අතුරුදන් තැනැත්තාගේ බිරිය වන 37 හැවිරිදි යූ.ජී. පුෂ්පලතා මහත්මිය මේ පිළිබඳව මෙලෙස අදහස් දැක්වූවාය.
“මගේ මහත්තයා අවසන් වරට වැඩ කළේ මහනුවර, පල්ලෙකැලේ ඉංජිනේරු සේවා බළගණයේ. දැන් මාස හතරක් පුරා මහත්තයා ගැන කිසිම තොරතුරක් නෑ. අපි මින්නේරිය පොලිසියේ පැමිණිල්ලකුත් කර තියෙනවා.
මහත්තයා අතුරුදන් වීම නිසා මමත් දරුවන් හතර දෙනත් අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නේ. අපේ අම්මා ගාමන්ට් එකක වැඩ කරලා හොයාගන්න සල්ලිවලින් කීයක් හරි එවනවා. ඒ සල්ලිවලින් තමා අපි ජීවත් වෙන්නේ. මගේ දරුවෝ හතර දෙනා තාම ඉන්නේ පොඩි වයස්වල. ලොකු දුවට අවුරුදු 14යි. දෙවෙනි දුවට අවුරුදු 08යි. ලොකු පුතාට අවුරුදු 04යි. බාල පුතාට අවුරුදු 02යි. දරුවන් එක්ක අසරණ වෙලා ඉන්න මට මහත්තයා හොයාගන්න උදව් කරන්න.”