5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ලකුණු පදනම් කරගෙන ආරම්භ කරන කිසිදු පාසලක සාමාන්‍ය පෙළ දක්වා අතරමැද පන්තිවලට සිසුන් ඇතුළත් නොකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම තුළින් ශිෂ්‍යත්ව විභාගය සමත් වන දරුවන්ට අසාධාරණයක් සිදුවන බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.

නාවල ජනාධිපති විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා එම අදහස් පළ කළේය.

“පහේ ශිෂ්‍යත්වය විභාගයෙන් නියම වෙන පාසල්වලට ළමුන් ඇතුළත් කරන්නේ නෑ. හතරේ දී කොහොම හරි දා ගන්න බලනවා. පහේ ශිෂ්‍යත්ව විභාගය තියලා අපි හිතමු රාජකීය විදුහල 180යි කියලා, මෙන්න 7 වසරේ දී 150 ළමයා 180 පාසලට එනවා. එතකොට ලකුණු 179 ළමයා ගෙදර. මම දැන් හිතාගෙන ඉන්නේ පහේ ශිෂ්‍යත්ව ලකුණු මත පටන් ගන්න පාසල්වලට කිසිම එකකට සාමාන්‍ය පෙළ යනකල් අතරමැදි ශ්‍රේණිවලට ගන්නේ නෑ. ආසාධාරණයක් නැත්නම් අර ළමයින්ට. දෙමව්පියන්ට ඕනේ කොහොම හරි ගිහින් 7න් 8න් ළමයාව මේකට දාන්න. එතකොට වෙන්නේ 180 ළමයි ඉන්න පන්තියේ ඔක්කෝමල්ලා 180යි. ගුරුවරයා බහිනවා ද 180න් පහළට, නෑ. එතකොට ගුරුවරයා යන්නේ ඒ මට්ටමට. එතැනට 150ක ළමයෙක් ගිහින් දැම්මොත් තියෙන ටිකත් බහිනවා. ඔය තත්ත්වය තේරුම් ගන්නේ නෑ. ලකුණු අඩු ළමයා එතැනින් ඉහළට ඔසවලා ගන්නේ අර තරගයට දාලා නෙමෙයි. අර පහළ ඉඳලා උඩට ගෙනියන්න ඕනේ එයාලව.”

More Stories