මවුවරුන්ට දරු ප්‍රසූතියකදී වැලඳෙන වැදූගෙයි සන්නිය නමැති මානසික රෝගයක් නිසාවෙන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටින දියණියන් දෙදෙනකු කිරිඅම්මා කෙනකු සහ දෙදරු මවක පිළිබඳ පුවතක් ගලේවෙල දැඹව ප්‍රදේශයෙන්  වාර්තා විය.

ආර්.එම්. ශිරාණි සේනානායක තිස්පස් හැවිරිදි දෙදරු මවක් මෙම දරුණු රෝගී තත්ත්වයට පත්ව සිටින්නීය. විවාහ වී සිටි යුද හමුදාවේ සෙබළකු බව ඇය කියයි. දෙවැනි දියණිය ඉපදී වසර එකහමාරක් ගතවෙද්දී සැමියා දරුවන් සහ තමන් අතහැර දමා ගිය බව ඇය කියයි. පළමු දරු ප්‍රසූතියේදී මෙම මව දරුණු ලෙස රෝගී තත්ත්වයට ලක්ව ඇත්තේ වැදූගේ සන්නිය නමැති රෝගය වැලඳීමෙන් බව ඇගේ මව ආර්.එම්.ටී. චන්ද්‍රලතා මහත්මිය පැවසුවාය.

පසුව දරුවන්ගේ පියා දෙවැනි දරුවකු ද ඇයට දායාද කොට අසනීප තත්ත්වය වැඩි වීමත් සමඟ ඔවුන් සියලු දෙනා දමා පිටව ගොස් තිබේ. මේ වන විට ඔහු හමුදාවේ විශ්‍රාමගෙන ඇති බව ද පවුලේ පිරිස කියයි. නිතර නිතර අසනීප වන ශිරාණි සේනානායක මාතලේ මහ රෝහලින් ප්‍රතිකාර ලබන්නීය. නිවෙසේ ක්‍රියාකාරකම්වලදී අන් අයට වඩා වෙනස් ආකාරයෙන් හැසිරෙන බවත් මේ වන විට දරුවන්ගේ සහ ඇගේ සියලු ඇඳුම් පුලුස්සා දමා දරුවන්ට පාසල් ගමන ද සම්පූර්ණයෙන්ම නැවතී ඇඳිවත පමණක් ඉතිරි වී ඇතැයි පවුලේ පිරිස කියති.

දිනකට එක වේලක් සරිකර ගන්නේ ගමේ ඇති කොස් දෙල් තම්බා ආහාරයට ගැනීමෙන් බවත් අප මෙම නිවෙසට යන අවස්ථාවේදී ද කොස් ගෙඩියක් තම්බා කුඩා දියණියන්ට ආහාර සඳහා සූදානම් කර තිබුණු අයුරු දැක ගැනීමට අපට ද හැකි විය.

දහවැනි වසරේ ඉගෙනුම ලබන වැඩිමල් දියණිය අයෝමි රසංගිකා 4 වැනි වසරේ අධ්‍යාපනය ලබන අයේශා ගයානි දියණියන් හැඬූ කඳුළින් තම මව සුව කර දෙන ලෙසත් තමන්ට පාසල් ගමන නැවත ආරම්භ කිරීම සඳහා උදවු කරන ලෙසත් ඉල්ලා සිටින්නීය.

මෙම දරුවන්ගේ පියා විශ්‍රාම වැටුපක් යුද හමුදාවෙන් ලබන බවත් අඩුම තරමේ එම වැටුපෙන් අඩක් දරුවන්ට ලබා ගැනීම සඳහා නීති ක්‍රියාත්මක කර දෙන්නයි එම මිත්තණිය යුද හමුදාපතිතුමාගෙන් ඉල්ලීමක් ද කර සිටින්නීය.

කවුරුන් හෝ මෙම දරුවන්ට උදවු උපකාර කිරීමට කැමැත්තක් දක්වන්නේ නම් ඔවුන්ගේ ලිපිනය ආර්.එම්.ටී. චන්ද්‍රලතා 249/5 දැඹව, මාදිපොළ, ගලේවෙල වන අතර දුරකතන අංකය 071-2916346 ලංකා බැංකුවේ ගලේවෙල ශාඛාවේ ඇගේ නමින් ඇති ගිණුම් අංකය 75818502 වෙත ආධාර යොමු කළ හැකිය.

Similar Posts